ඉන්දියාව නිදහසේ අවසන් මහා සටනට

175

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පස්වැනි තරගය ලෙසින් පැවති බංග්ලාදේශය සහ ඉන්දියාව අතර තරගයෙන් ලකුණු 17ක පහසු ජයක් ලද ඉන්දිය කණ්ඩායම, ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සඳහා අවදානමකින් තොරවම සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

[rev_slider LOLC]

තරගාවලියේ හයවැනි හෙවත් අවසන් පූර්ව තරගය සිකුරාදා (16) පැවැත්වීමට නියමිත අතර ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ ජයග්‍රාහකයින් ඉන්දීය කණ්ඩායමේ ප‍්‍රතිවාදීන් බවට පත්වනු ඇත.

කාර්තික්, පාන්ඩ්‍යා හා තාකූර්ගේ දස්කම් නිසා ශ්‍රී ලංකාව වැට උඩට

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 70 වන සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා …

පෙර තරගවලට සාපේක්ෂව පන්දුවට පහරදීම අතිශය අසීරු වූ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඉන්දියාව ලබා දුන් ලකුණු 177ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශයට පන්දුවාර 20ක දී රැස් කර ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 159ක් පමණි. මෙය මෙම තරගාවලිය යටතේ ප‍්‍රථමයෙන් පන්දුවට දුන් කණ්ඩායමක් තරග ජයග්‍රහණයක් ලද පළමු අවස්ථාව ලෙස ද සටහන් විය.

අදාළ හඹා යෑමේ දී ඉදිරිපෙළ පිතිකරුවන් සිව්දෙනාම ලකුණු 61ක් තුළ දී තරග නරඹන්නන් බවට පත්වද්දී, ශ‍්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයේ දී මෙන් සිය සටන අත්නොහළ මුෂ්ෆිකර් රහීම් ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් බංග්ලදේශය ජය ටැඹ කරා රැගෙන යෑමට අපමණ වෙහෙසක් ගත්තේය.

එහි දී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක සම්බන්ධතාවක් එක් කළ රහීම් විටෙක තරගය දෙපිළටම දෝලනය වන අවස්ථාවකට රැගෙන එ්මට සමත් වුවත්, පන්දු 23ක දී ලකුණු 27ක් ලද රෙහ්මාන් දැවී යෑම නිසා එතෙක් දෙදෙනාම මත පැටවුණු ඉනිමේ බර රහීම්ගේ තනි කරට පැටවිනි.

ශ‍්‍රී ලංකාවට එරෙහි තරගයේ පන්දුවට පහර දුන් පරිද්දෙන්ම තනි අතට ගෙන ක්‍රීඩා කළ රහීම් බංග්ලාදේශ ඉනිම අවසන් වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටිය ද, විස්සයි විස්ස තරගයක දී ඉන්දියාවට එරෙහිව අර්ධ ශතකයක් ලද පළමු බංග්ලාදේශ පිතිකරුවා සහ මෙම තරග අංශයේ පිට පිටම අර්ධ ශතක ලද බංග්ලාදේශ පිතිකරුවන් අතර තෙවැන්නා බවට පත්වීමේ පෞද්ගලික වාර්තාවත් තමන් සතු කර ගත්තා හැරෙන්නට තරගයේ ප‍්‍රතිඵලයට බලපෑමක් ඇති කිරීමට නොහැකි විය. හයේ පහරක් සහ හතරේ පහර 8කින් සිය ඉනිම සරසා ගෙන සිටි රහීම් පන්දු 55ක දී ලකුණු 72ක් රැස් කර ගත්තේය.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු වොෂිංටන් සුන්දර් ලකුණු 22කට කඩුලු 3ක් දවා ගනිද්දී මොහොමඩ් සිරාජ්, ශර්දුල් ඨාකූර් සහ යුෂ්වෙන්ද්‍රන් චහල් එක් කඩුල්ල බැගින් දවා ගනිමින් බංග්ලාදේශය අසරණ කර දැමූහ.

මාලිංගගේ පන්දුවෙන් කොළඹට අලාභ හානී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය …

ඩේවිඩ් වෝනර්ට සහ ෂේන් වොට්සන්ට පසු විස්සයි විස්ස තරගවල දී වැඩිම ලකුණු සම්බන්ධතාවක් පවත්වන ලද ආරම්භක පිතිකරුවන් යුගලය බවට රෝහිත් ෂර්මා සහ ශිකර් ධවාන් පත්වුන ද, තණතීරුවේ ඇති අසීරුතාව හේතුවෙන් අධිවේගී පන්දුවාර 6 දී ඔවුන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 49ක් පමණි.

තරගයේ 10 වැනි පන්දු වාරයේ පන්දු 27ක දී ලකුණු 35ක් ලබා සිටි ධවාන් පළමු පිතිකරුවා ලෙසින් දැවී යන විට ලකුණ පුවරුව 70ක් ලෙස සටහන්ව තිබුණි. ඉන්පසු පිටියට ආ සුරේෂ් රයිනා තරමක් මන්දගාමී වූ ඉන්දිය ඉනිම තම නායකයා සමඟින් සෙමෙන් සෙමින් ගොඩ නැංවීමට දායක විය.

තණතීරුවේ දායකත්වයක් නොමැති අවස්ථාවන්හි දී පන්දුවට පහර දිය යුත්තේ මෙසේ යැයි සත්කාරක ශ‍්‍රී ලංකා කණ්ඩායමට ද කියා දෙමින් පන්දුවට පහර දුන් ෂර්මා සහ රයිනා අවසන් පන්දු 10 තුළ දී ලකුණු 105ක් රැස් කරමින් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඉන්දීය පිළ රැගෙන ගියේය.

ඉන්දීය ඉනිම අවසන් කිරීම වෙනුවෙන් යවන ලද පන්දුවේ දී දැවී යන විටත් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ෂර්මා හයේ පහර 5කින් සහ හතරේ පහර 5කින් සිය ලකුණු 89ක ඉනිම වර්ණවත් කරගෙන සිටියේය. පන්දු 61කට පමණක් මුහුණ දෙමින් ෂර්මා රැස් කරගන්නා ලද්දේ සිය විස්සයි විස්ස දිවියේ 13 වැනි අර්ධ ශතකය වන අතර එම ඉනිමට තරගයේ වීරයා සම්මානය ද හිමි විය. ඔහුට අනගි සහායක් ලබා දුන් රයිනා හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමඟින් ලකුණු පන්දු 30ක දී ලකුණු 47ක් රැස් කරගත්තේය.

බංග්ලාදේශ නායක මහමුදුල්ලා රියාද්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම එක් වෙනස්කමක් සහිතව තරගයට අවතීර්ණ වූ අතර ජයදේව් උනාදක් වෙනුවට මොහොමඩ් සිරාජ් කැඳවා තිබුණි. බංග්ලාදේශය ද එක් වෙනස්කමක් සහිතව ටස්කින් අහමඩ් වෙනුවට අබු හයිදර් කැඳවා තිබුණි.

ඉන්දියාව පන්දුවාර 20, 176/3: රෝහිත් ෂර්මා 89, සුරේෂ් රයිනා 47, ශිකර් ධවාන් 35, රුබෙල් හසේන් 27/2*

බංග්ලාදේශය පන්දුවාර 20, 159/6: මුෂ්ෆිකර් රහීම් 72*, සබිර් රෙහ්මාන් 27, තමීම් ඉක්බාල් 27, මහමුදුල්ලා 11, වොෂින්ටන් සුන්දර් 22/3*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<