ආසියානු ජ්‍යෙෂ්ඨ කුසලානයට 18 දෙනෙකුගේ සංචිතයක්

212
Sri Lanka Senior Men's pool of 18 (19th Asian Senior Men's Volleyball Championship)

ඉන්දුනීසියාවේ සුරබායා නුවර දී පැවැත්වීමට නියමිත 19 වන ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් තෝරාගෙන ඇත.

2016 වසරේ දී දකුණු ආසියානු තරග (SAG) වල දී රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 12 දෙනාගෙන් 11 දෙනෙක්ම මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර තෝරා ගත් සංචිතය සඳහා ශ්‍රී ලංකා අවුරුදු 23න් පහළ ජාතික කණ්ඩායමේ නායක, උපනායක සහ ඉසුරු මදුෂාන් යන ක්‍රීඩකයින් ද ඇතුළත් වේ.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අග ඉඳන් දෙක

දකුණු ආසියානු තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ජනිත සුරත්, ෂමිල් මලින්ද සිල්වා, වසන්ත ලක්මාල්, අයේෂ් පෙරේරා, චාමර මිහිරාන්, චානක මදුෂංක, කසුන් චතුරංග, නිලංක සංජය, ගයාන් මදුෂංක, ඉසුරු මදුෂාන් සහ දීප්ති රොමේෂ් යන 2016 වසරේ දකුණු ආසියානු තරගවල දී ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් මෙම සංචිතයට ද ඇතුළත් කර ඇත.

පසුගිය දා අවසන් වූ 2 වන ආසියානු අවුරුදු 23න් පහළ වොලිබෝල් ශූරතා තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අයේෂ් පෙරේරා විසින් දැරූ අතර එම කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කළේ දනුෂ්ක දිල්ශාන් ය. 2016 වසරේ වයස අවුරුදු 22න් පහළ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස අයේෂ් සම්මානයෙන් පිදුම් ලැබූ අතර එහි දී දක්‍ෂතම පන්දු සකසන්නා ලෙස සම්මාන දිනා ගන්නට ධනුෂ්ක සමත් විය.  

2016 වසරේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා, දක්‍ෂතම පන්දු යොමු කරන්නා සහ 2016 වසරේ මන්චි ජාතික අත්පන්දු ශූරතා තරගාවලියේ දක්ෂතම පන්දු යොමු කරන්නා ලෙස සම්මාන දිනා ගන්නට ජනිත සුරත් සමත් විය. ඊට අමතරව 2016 වසරේ මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ දී දක්‍ෂතම පන්දු අවහිර කරන්නා ලෙස රුමේෂ් දිසානායක, දක්‍ෂතම ආරක්‍ෂක ක්‍රීඩකයා ලෙස ඒ. ඩබ්. ලක්මාල්, දක්‍ෂතම පන්දු සකසන්නා ලෙස නිලංක සංජය, දක්‍ෂතම පන්දු ග්‍රාහකයා ලෙස ෂෙහාන් විමුක්ති සාගර, දක්‍ෂතම ප්‍රහාරකයා ලෙස දීප්ති රොමේෂ් සහ තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය සම්මානයෙන් පිදුම් ලැබීය. රොමේෂ් ජනාධිපති රන් කුසලාන තරගාවලියේ දී ද දක්‍ෂතම ප්‍රහාරකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.  

සංචිතය

  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – මලිත් දිනිඳු චාමර, දනුෂ්ක දිල්ෂාන් ප්‍රනාන්දු
  • යුද හමුදා ක්‍රීඩා සමාජය – වසන්ත ලක්මාල්, දිලින සුදාරක, චාමර මිහිරාන්, ෂමිල් මලින්ද සිල්වා, ඉසුරු මදුෂාන්
  • ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය – අයේෂ් පෙරේරා, ඒ. ඩබ්. ලක්මාල්, කසුන් චතුරංග, ගයාන් මදුෂංක, දීප්ති රොමේෂ්
  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය – ජනිත සුරත්, රුමේෂ් දිසානායක, නිලංක සංජය, ෂෙහාන් විමුක්ති සාගර, ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – චානක මදුෂංක

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<