SAG – සම්මු සහ උමේෂාගෙන් අර්ධ ශතක

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - ක්‍රිකට්

90

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්වන් සඳහා අද (03) සහභාගී වූ ශ්‍රි ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් සම්මු අශාන් සහ උමේෂා තිමේෂනී අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. 

දකුණු ආසියානු ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිත නිකුත් වෙයි

2019 වසරේ දෙසැම්බර් මස දී පැවැත්වීමට නියමිත දකුණු ……….

ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි කණ්ඩායම සත්කාරක නේපාල කණ්ඩායම සමග කීර්තිපුර් හි පැවති තරගයේ දී කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙද්දී කාන්තා ක්‍රීඩිකාවන්ට පොකාරා හිදී පැවති බංග්ලාදේශය සමඟ තරගයේ දී කඩුලු 7ක පරාජයකට මුහුණ දීමට සිදු විය.  

සම්මුගෙන් මැජික් ඉනිමක් 

පිරිමි ක්‍රිකට් ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයන් හා සත්කාරක නේපාල කණ්ඩායම සමග තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක නේපාල ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 172ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 175ක් ලබා ගත්හ. ඒ තවත් පන්දු 5ක් සහ කඩුලු 6ක් ද ඉතිරි කර ගනිමිනි. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංකගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නේපාල ක්‍රීඩකයන්ගේ ඉනිම වෙනුවෙන් 19 හැවිරිදි දකුණත් පිතිකරු දිපේන්ද්‍ර සිං පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 72ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රධානතම ප්‍රතිවාදියා විය. 

පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 51කට සීමා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයට ජවයක් සහිතව එක් වූව ද සිව්වැනි කඩුල්ලේ දී එම මාර්ගය වෙනස් කිරීමට නේපාල ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ දිපේන්ද්‍ර සිං සහ බිනෝද් භන්ඩාරි ලකුණු 56ක ලකුණු සබඳතාවක් එක් කිරීමත් සමඟිනි. අනතුරුව පස් වැනි කඩුල්ලේ දී ද ලකුණු 62ක සබඳතාවක් එක් කිරීමට දීපේන්ද්‍ර සිං සහ පවන් සාරාෆ් සමත් වූහ. 

කඩුලු ලබා ගැනීමේ දී කමිඳු මෙන්ඩිස් ලකුණු 34කට කඩුලු 2ක් දවා ගනිද්දී අසිත ප්‍රනාන්දු, කවිශ්ක අංජුල සහ දුවිඳු තිලකරත්න කඩුල්ල බැගින් ලබා ගත්හ. 

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිශ්ශංක සහ නිශාන් මධුශ්ක ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 36කි. පළමු කඩුල්ල ලෙසින් පැතුම් නිශ්ශංක පන්දු 12ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගනිමින් දැවී ගියේය. 

ඉන් අනතුරුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස්ට ලබා ගැනීමට හැකි වූයේ එක් ලකුණක් පමණි. 

නායක චරිත් අසලංක පන්දු 7ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 6ක් ලබා දැවී යෑමත් සමඟින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3කට ලකුණු 49ක් ලෙසිනි. ඒ වෙද්දී ක්‍රියාත්මක වෙමින් තිබුනේ ඉනිමේ 6 වැනි පන්දුවාරයයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු ඇගයෙන සම්මාන රාත්‍රියට සියල්ල සූදානම්

2018/19 වසරවල දී දේශීය ක්‍රිකට් පිටියේ දී මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ………..

අනතුරුව පිටියට පිවිසි සම්මු අශාන් ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක සමග එක්වෙමින් ඉනිම බිඳෙන් ගොඩ ගැනීමට මහන්සි ගත්හ. එසේ ඇරඹි ඉනිමේ පන්දු වාර 10ක් අවසන් වන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 77ක් ලෙසිනි. ඔවුන් දෙදෙනා අතර පැවති සිවaවැනි කඩුල්ලේ සබඳතාව නිමා වූයේ ලකුණු 140ක් ලකුණු පුවරුවට එක් වෙද්දී ය. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා අතර එම කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් එක් වී තිබුණි. දැවී ගිය නිශාන් මධුශ්ක පන්දු 42කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තේය. 

අනතුරුව සම්මු එක් වූයේ අශේන් බණ්ඩාර සමඟ ය. ඔවුන් දෙදෙනා එක්ව තරගය අවසන් කරන විට පන්දු 16ක දී 5 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 35ක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

තරගය එසේ නිමා වෙද්දී සම්මු අශාන් පන්දු 44 කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 72ක් ලබා සිටියහ. අනෙක් අන්තයේ රැඳී සිටි අශේන් බණ්ඩාර පන්දු 8ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ලබා සිටියේය. 

කඩුලු ලබා ගැනීමේ දී පවන් සාරාෆ් ලකුණු 20කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.  

නේපාලය; කඩුලු 5ක් දැවී 172 (20) ගයනේන්ද්‍ර මල්ලා 21, ආරිෆ් ශෙයික් 19, දීපේන්ද්‍ර සිං නොදැවී 72, බිනෝද් භන්ඩාරි 21, පවන් සාරාෆ් 22, කමිඳු මෙන්ඩිස් 2/34

ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම; කඩුලු 4ක් දැවී 175 (19.1) පැතුම් නිශ්ශංක 30, නිශාන මධුශ්ක 46, සම්මු අශාන් නොදැවී 72, අශේන් බණ්ඩාර නොදැවී 14, පවන් සාරාෆ් 2/20

උමේෂා තරගාවලියේ මංගල අර්ධ ශතකය රැස් කරයි

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 122ක් ලබා ගත්හ. 

ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් දැවී ලකුණු 126ක් ලබා ගත්හ. ඔවුන් එම ඉලක්කය පසුකර ගියේ ඉනිමේ තවත් පන්දු 9ක් සහ කඩුලු 7ක් ද ඇතැතිවය. 

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූයේ ආරම්භක දකුණත් පිතිකාරිනී උමේෂා තිමාෂිනී ය. ඇය පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තාය. ඒ සමඟම 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මංගල අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමිකර ගැනීමට උමේෂා තිමාෂිනී සමත් වූවාය. 

ඊට අමතරව නායිකා හර්ෂිතා මාධවී පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තාය. 

ඔවුන් අතුරින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක සබඳතාවක් ගොඩ නැගීමට උමේෂා තිමාෂිනී සහ ජනාලි ආනලි (5) සමත් වූ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් උමේෂා තිමාෂීනී සහ හර්ෂිතා මාධවී ලකුණු 48ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වීම කැපී පෙනුනි.  

SAG2019 – නිලානි රන් පදක්කමට දිව යද්දී හිමාෂට නූලෙන් රන් අහිමි වේ

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද (03)…………

සත්‍යා සංදීපනී ද පන්දු 12ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව පසුකර ගැනීමට නොහැකි විය. කවීෂා දිල්හාරි (4) සහ ලිහිණි අප්සරා (1) දැවී ගිය ක්‍රීඩිකාවන් වූ අතර ඉනිම අවසන් වන විට ශිකරි නුවන්තා (2) සහ නිලක්ෂණා සඳමිණි (2) නොදැවී පිටියේ රැඳී සිටිය හ. 

කඩුලු ලබා ගැනීමේ දී 19 හැවිරිදි වමතින් දඟපන්දු යවන නහීඩා අක්තර් ලකුණු 32කට කඩුලු 4ක් දවා ගත්තාය. 

පිළිතුරු බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 13කට සීමා කිරීමට උමේෂා තිමාෂිනී සහ තාරිකා සෙව්වන්දි සමත් වූව ද අනතුරුව කඩුල්ලේ දී ලකුණු 53ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් වීමට අයේෂා රාහ්මන් සහ සංජිදා ඉස්ලාම් සමත් වූහ. අයේෂා රාහ්මන් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 29ක් ලබා ගත්තාය.  

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූයේ සංජිදා ඉස්ලාම් ය. ඇය තරගය ජයග්‍රහණය කරද්දී පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියාය. අනෙක් අන්තයේ රැඳී සිටි ෆර්ගනා හොක් පන්දු 18කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 23ක් ලබා සිටියාය. 

පන්දු යැවීමේ දී උමේෂා තිමාෂිනී, සචිනි නිසංසලා සහ තාරිකා සෙව්වන්දි කඩුල්ල බැගින් ලබා ගත්හ. 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 122 (20) උමේෂා තිමාෂිනී 56, හර්ෂිතා මාධවී 33, නහීඩා අක්තර් 4/32

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 3ක් දැවී 126 (18.3) අයේෂා රාහ්මන් 29, සංජිදා ඉස්ලාම් නොදැවී 51, ෆර්ගනා හොක් නොදැවී 23, උමේෂා තිමාෂිනී 1/13

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<