මීරේ වාර්තා පොත් අතරට ගියත් ජය පාකිස්තානයට

553
Zimbabwe batsman Solomon Mire bats during the 4th match played between Pakistan and Zimbabwe as part of a T20 tri-series at the Harare Sports Club on July 4, 2018. / AFP PHOTO / Jekesai NJIKIZANA

සිම්බාබ්වේ, ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන විස්සයි – විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ හා පාකිස්තානය අතර අද (4) දින හරාරේ ක්‍රීඩාංගනයේ දී  පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබාගත් පාකිස්තාන කණ්ඩායම මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුනා.

ICC සාමාජිකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි ද?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) 75 වන කමිටු රැස්වීම ජූලි මස 2 වැනිදා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී පැවැත්වුණු…

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් පළමුව පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ඇරයුම් කළ අතර පිටියට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ල සඳහා  ලකුණු 49ක සම්බන්ධතාවයක් සහිතව සවිමත් ආරම්භයක් ලබාදීමට දකුණතින් පිත්ත හසුරුවන සොලමන් මීරේ හා සේපස් සුවාවෝ සමත් විය. නමුත් 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 24ක් ලබා සිටි සුවාවෝගේ දැවී යාමට පසුව පිටියට පැමිණි නායක හැමිල්ටන් මසකඩ්සා හට ලකුණු 2කින් පමණක් සැහීමකට පත් වීමට සිදුවූයේ, ශදබ් කාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යාම නිසයි.

මීරේ හා පිටියේ එක්වූ ටරිසායි මුසකන්ඩා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සාර්ථක සබඳතාවයක් ගොඩ නංවන ලද්දේ පාකිස්තානු පන්දු යවන්නන් හට තරමක වෙහෙසකාරී කාල සීමාවක් උදාකරමිනි. එතෙක් වේලාවක් පාකිස්තානු පන්දු යවන්නන්ට හිසරදයක් වූ මීරේ 4 පහර 6ක් හා 6 පහර 6ක් සමඟ ලකුණු 94ක් ලබාගෙන සිටිය දී දැවී ගියේ හුසේන් ටැලට් එවූ පන්දුවක් සෘජුවම කඩුල්ලේ වැදී දැවී යාම නිසාවෙනි. මීරේ ලබාගත් එම ලකුණු ප්‍රමාණය සිම්බාබ්වේ ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වූයේ එරට ක්‍රිකට් ක්‍රීඩකයෙක් 20-20 තරග ඉතිහාසයේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. අවසානයේ සිම්බාබ්වේ කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 තුල දී කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබාගන්නා ලදි.

පන්දු යැවීමේ දී පාකිස්තානු කණ්ඩායමේ මොහොමඩ් අමීර්, හුසෙයින් ටැලට්, ෆාහීම් අශ්රාෆ් හා ශදබ් කාන් අතරේ අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.

බංග්ලාදේශයට තද වැසි; A තරගය පළමු දිනයට අත්හිටුවයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හි ෂෙයික් කමාල් ඇකඩමි ක්‍රිකට්…

සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් ලකුණු 162ට පිළිතුරු දුන් පාකිස්තානු කණ්ඩායමේ සාර්ථකම  පිතිකරුවා බවට පත්වුණේ ඔවුන්ගේ ආරම්භක, වමත් පිතිකරු වන ෆකර් සමාන්ය. ඔහු පන්දු 38ක් පමණක් වැය කරමින් ලකුණු 47ක් ලබාගත්තේ 4 පහර 4ක් හා එක් 6 පහරක් සිය ලකුණු සටහනට ඇතුලත් කරගනිමිනි.

පාකිස්තානු මැද පෙළ සවිමත් කළ හුසේන් ටැලට් හා නායක සෆ්රාස් අහමඩ් පාකිස්තානය ජයග්‍රහණය කරා මෙහෙයවන ලද්දේ පිළිවෙළින් ලකුණු 44ක් හා ලකුණු 38*ක් රැස්කරගනිමිනි. සිය නියමිත ඉලක්කය වූ ලකුණු 163 පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සපුරාගත් පාකිස්තානුවන් මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රිස් මොප්ෆු, සොලමන් මීරේ හා වෙලින්ග්ටන් මසකඩ්සා අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.

සිම්බාබ්වේ – 162/4 (20): සොලමන් මීරේ 94, ටරිසායි මුසකන්ඩා 33, සේපස් සුවාවෝ 24.
පාකිස්තානය – 163/3 (19.1): ෆකර් සමාන් 47, හුසෙයින් ටැලට් 44, සෆ්රාස් අහමඩ් 38*.

තරගයේ වීරයා – සොලමන් මීරේ (සිම්බාබ්වේ)

මේ තරගාවලියේ මීළඟ තරගය හෙට (5) පාකිස්තානු කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර හරාරේ ක්‍රීඩාංගනයේ දීම පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<