යුපුන් යුරෝපයේ දී ශ්‍රී ලංකා නාමය බබලවයි

154
Yupun Abeykoon

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් විසින් පසුගිය තෙදින තුළ ඉසව් ද්විත්වයක ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

පසුගිය 06 වැනි දා පෝලන්තයේ Wieslaw Maniak Memorial – World Athletic Continental Tour මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 අවසන් (Final A) තරගයට සහභාගී වූ යුපුන් අබේකෝන් විසින් තත්පර 10.29ක තරග නිමි කාලයක් සමඟ තෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනා.

අවසන් තරග ත්‍රිත්වයක් ක්‍රියාත්මක වුන මෙම තරග ඉසව්වේ සමස්ත තරග කරුවන් 19 දෙනෙකු අතුරින් යුපුන්ගේ තරග නිමි කාලය 06 වැනි ස්ථානයේ සටහන් වුනා.

මේ අතර ඊයේ (08) දිනයේ දී පෝලන්තයේ දී ක්‍රියාත්මක වූ zbigniew ludwichowski World Athletic Continental Tour මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ යුපුන් විසින් තත්පර 10.36ක තරග නිමි කාලයක් ද සමඟ ඉසව්ව ජය ගැනීමට සමත් වුනා. මෙහි දී ඔහු විසින් නව තරග වාර්තාවක් ද පිහිටුවීමට සමත් වීම විශේෂත්වයක්.

මෙම ජය ලැබීමෙන් පසුව යුපුන් විසින් සිය Facebook පිටුවේ සටහනක් තබමින් සඳහන් කළේ නිදිවර්ජිත රාත්‍රින් මෙන්ම වෙහෙසකර කාල සටහනක් තුළ ද සැරිසරමින් තරමක අවදානමක් සහිතව වුව ද තමන් මෙසේ ධාවනයේ යෙදෙන්නේ එළඹෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම අරමුණු කරමින් බවයි.

“තරග වාර්තාව බිඳ හෙළමින් Timing Board එකේ ශ්‍රී ලංකා ධජය පෙන්වීමට ලැබීම ගැන මට ආඩම්බරයි. ඉන්දියානු සාගරයේ තියෙන පුංචි දූපතකට යුරෝපයේ පවා දිදුලන්න පුළුවන් බව ලෝකයට පෙන්නුවා. අපි මෙහේ (යුරෝපයේ) ඉන්නේ ඒ වෙනුවෙනුයි.”

ඉදිරියේ දී තවත් තරග ඉසව් වෙනුවෙන් සහභාගී වීමේ බලාපොරොත්තුවෙන් තමන් සිටිනා බවත් යුපුන් මෙහි දී සඳහන් කර තිබුණා. එම තරග තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>