2026 නැගී එන ආසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් බංග්ලාදේශය හමුවේ ලකුණු 4ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුණා.
B කාණ්ඩය නියෝජනය කරමින් පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 115ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 111ක් පමණයි.
>>ආසියානු කාන්තා නැගී එන කණ්ඩායම් ශූරතාව වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි<<
බැංකොක් හී Terdthai ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගත් ද ඔවුන්ගේ මැද පෙළත්, පසු පෙළත් අසාර්ථක කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හැකි වෙනවා.
බංග්ලාදේශ ඉනිම ආරම්භ කළ Ishma Tanjim සහ Shamima Sultana එක් ව පළමු කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 48ක් ලබා ගන්නවා. ඒ අතුරින් Shamima Sultana පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඉන් අනතුරු ව ලකුණු පුවරුවට තවත් ලකුණු 8ක් එක් වෙද්දී Ishma Tanjim ද දැවී යනවා. ඒ වෙද්දී ඇය පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.
අනතුරු ව Rubya Haider ලකුණු 11ක් ලබා සිටිය දී 3 වැනි කඩුල්ලට ද සහ Sarmin Sultana පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටිය දී 5 වැනි කඩුල්ලට දැවී යද්දී අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණෙන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ.
එහි දී සචිනි නිසංසලා ලකුණු 14කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා වූ අතර ඊට අමතර ව මල්ෂා ශෙහානි සහ සත්‍යා සංදීපනී කඩුලු ද්විත්වය බැගින් ද යසන්ති නිමන්තිකා කඩුල්ලක් ද දවා ගන්නවා.
- පා දඟ පන්දුවෙන් ඉතාලිය දිනවන ශ්‍රී ලාංකිකයා ‘ක්‍රිශාන් කලුගමගේ’
- වනිඳුට ලෝක කුසලානය අහිමි වෙයි!
- ඉන්දියාව 6 වැනි වරටත් යොවුන් ලෝක ශූරයන් වෙයි
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියම වෙයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ හංසිමා කරුණාරත්න. ඇය පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගන්නවා. ඊට අමතර ව අමා කාංචනා පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද සහ සචිනි නිසංසලා පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.
ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීමේ දී Sanjida Akter Meghla කඩුලු 3ක් ද, Lata Mondal සහ Fahima Khatun කඩුලු ද්විත්වය බැගින් ද Jannatul Ferdus සහ Shorifa Khatun කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශ A කාන්ත කාණ්ඩායම – සියලුම දෙනා දැවී 115 (20.0) Ishma Tanjim 30, Sarmin Sultana 29, සත්‍යා සංජීවනී 2/21, සචිනි නිසංසලා 4/14, මල්ශා ශෙහානි 2/17
- ශ්‍රී ලංකා A කාන්තා කණ්ඩායම – කඩුලු 9ක් දැවී 111 (20.0) හංසිමා කරුණාරත්න 26, අමා කාංචනා 23, සචිනි නිසංසලා 20, Sanjida Akter Meghla 3/20, Fahima Khatun 2/24, Lata Mondal 2/20
බංග්ලාදේශ A කාන්තා කණ්ඩායමට ලකුණු 4ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Sanjida Akter Meghla (බංග්ලාදේශ A කාන්ත කාණ්ඩායම)
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එළැඹෙන 16 වැනිදා මැලේසියාව සමඟින් පැවැත්වේ.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ඔබ සමඟ බෙදා හදා ගැනීමට ද ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















