Rajasthan Royals සැලසුම් ගැන සංගක්කාර කතා කරයි

6960

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන Rajasthan Royals කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු මේ වන විට ඉන්දියාව වෙත පැමිණ තිබෙනවා. ඒ අතරට ඔවුන්ගේ නිලධාරින් කිහිපදෙනෙකු ද ඇතුළත් වනවා.

Rajasthan Royals කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක වන හිටපු ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ද ඒ අතර වනවා.

පසුගිය වසරේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් නොවූ Rajasthan Royals කණ්ඩායමේ මෙවර සූදානම පිළිබඳව ඔහු පසුගිය දා මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Rajasthan Royals සහභාගී වන පළමු තරගය Sunrisers Hyderabad සමඟින් එළඹෙන මාර්තු 29 වැනිදා පූනේහි MCA ක්‍රීඩාංගණයේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය දා නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ දී Rajasthan Royals ක්‍රීඩකයන් 24 දෙනෙකු මිල දී ගෙන තිබුණා. ඒ අතරට ප්‍රවීණ ඉන්දීය දඟපන්දු යවන්නන් වන Ravichandran Ashwin සහ Yuzvendra Chahal ද ඇතුළත්.

ඒ සමඟින් දකුණු අප්‍රිකානු ක්‍රීඩක Rassie van der Dussen, කොදෙව් දූපත් හි Shimron Hetmyer සහ ඉන්දීය ක්‍රීඩක Devdutt Padikkal පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්ව සිටිනවා. මීට අමතරව Nathan Coulter-Nile සහ Jimmy Neesham තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස කණ්ඩායම නියෝජනය කරනවා. වෙන්දේසියට පෙර Rajasthan Royals විසින් Sanju Samson, Jos Buttler සහ Yashasvi Jaiswal රඳවා ගෙන තිබුණා.

Rajasthan Royals කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක කුමාර් සංගක්කාර මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, තම කණ්ඩායමට හොඳම දඟපන්දු යවන්නන් දෙදෙනෙකු එක්ව සිටින නිසා තමන්ට තරගාවලිය තුළ දිගු ගමනක් ඇති බවයි.

Ravichandran Ashwin සහ Yuzvendra Chahal පිට දඟපන්දු සහ පා දඟපන්දු යවන හොඳම දෙදෙනෙක්. IPL හි හොඳම දඟපන්දු යවන්නන් දෙදෙනා අපිට ඉන්නවා. ඒ වගේම වේගපන්දුවෙන් අපට Boult, Prasidh, Saini, Coulter-Nile, McCoy ඉන්නවා. ඔවුන් එක්ක Yashasvi, Samson සහ Buttler ඉන්නවා. මේ ක්‍රීඩකයන් එක්ක කණ්ඩායම ඉතා උද්යෝගිමත්ව ඉන්නවා. Neesham, Mitchell සහ van der Dussen එක්ක අපිට සෑම අංශයකින්ම හොඳ කණ්ඩායමක් ඉන්නවා. මෙවර කණ්ඩායමේ සෑම අංශයකින්ම ලොකු ගැඹුරක් තියෙනවා”, සංගක්කාර පවසා සිටියා.

මෙවර තරගාවලිය සඳහා ප්‍රවීණ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද එක්ව සිටිනවා. ඒ  Rajasthan Royals කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙසින්. ඔහුත් සමඟින් Paddy Upton ද කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස එක්ව සිටිනවා. තම සගයකු වන ලසිත් මාලිංග සහ Paddy Upton පුහුණු කාර්ය මණ්ඩලයට එක් කිරීම පිළිබඳව ද සංගක්කාර පැහැදිලි කරමින් පවසා සිටියා.

ඇත්ත වශයෙන්ම මගේ කාර්යය වෙන්නේ මම හරහා හෝ මම නිර්දේශ කරන පුද්ගලයින් හරහා කණ්ඩායමට වටිනාකමක් එක් කිරීමයි. එම පුද්ගලයා ගෙන එන්නේ කුමන වටිනාකමක් ද කියන එක සහ ඔවුන් අපට කණ්ඩායම වැඩි දියුණු කිරීමට නිරන්තරයෙන් උදව් කරන්නේ කොහොමද කියන එක තමයි අපිට වටින්නේ. ලසිත් සහ Paddy දෙදෙනාම ඉතාමත් වටිනා අය. ඔවුන් දෙදෙනාගේ ප්‍රමිතිය දකින සෑම කෙනෙකුම දන්නවා. ඔවුන් ඔවුන්ගේ රැකියාවල දී ඔවුන්ගේ කණ්ඩායම් සමඟ විශිෂ්ට වෘත්තීය සම්බන්ධතාවයක් ගත කරලා තියෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මාර්තු 26 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. පළමු තරගය ලෙස Chennai Super Kings (CSK) සහ Kolkata Knight Riders (KKR) තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<