රාජකීයයින් තෙවැනි වරටත් රග්බි පිටියේ බලය තහවුරු කරගනී

845

අතිශය තරගකාරී මුහුණුවරක් ගත් 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගවාරය, ඉතා සාර්ථක අවසානයක් කරා රැගෙන යාමට කොළඹ රාජකීයයන් අද (29) සමත් වූයේ අඛණ්ඩව තෙවැනි වරටත් ලීග් ශූරයින් ලෙස කිරුළු පැලඳීමේ භාග්‍ය උදා කරගනිමිනි. කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව පැවති තීරණාත්මක තරගය ලකුණු 24-17ක් ලෙස උත්සාහක දිනුම 4ක් ද වාර්තා කරමින් ජය ගැනීමට ඔවුන් සමත් විය.

සුපිරි ජයක් සමඟින් විද්‍යාර්ථයින් A සිහිනය සැබෑ කරගනියි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසාන සති අන්තය …..

සාන්ත පීතර කණ්ඩායම සමඟ කරට කර සටනක නියැලෙමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයෙහි රැඳී සිටි රාජකීය කණ්ඩායමට අද දිනයේ දී පැවති තරගය තීරණාත්මක සන්ධිස්ථානයක්  වූයේ ශූරතාව තමන් සතුකර ගැනීමට නම් මෙම තරගය ප්‍රසාද ලකුණක් ද සහිතව නියත වශයෙන්ම ජය ගත යුතුව තිබුණ බැවිනි.

තම සත්කාරක ක්‍රීඩාංගණයේ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයෙහි පිටියට පිවිසි රාජකීය කණ්ඩායම තරගය ආරම්භයෙහි සිටම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවකට අවතීර්ණ වනු දක්නට ලැබුණු අතර තම ප්‍රතිවාදීන්ගෙන් එල්ල වන පීඩනය මැඬලීමට ජෝසප්වරුන් හට දැඩි වෑයමක් ගැනීමට සිදු විය.

නමුත් එම සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් රාජකීය කණ්ඩායමේ රජිඳු ජයසූරිය තරගයේ ප්‍රථම වතාවට ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ ගෞරවය රාජකීය කණ්ඩායම වෙත හිමිකර දීමට සමත් වූයේ පසුගිය තරගවාරය කිහිපය පුරාවටම ඔවුන්ගේ ප්‍රබලතම අවිය වුනු rauling maul අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගනිමිනි. එහි අමතර ලකුණු එක්කිරීමේ කාර්යභාරය ද දුලාන් ගුණවර්ධන මැනවින් ඉටු කිරීමට සමත් විය.(රාජකීය 07 – 00 සාන්ත ජෝසප්)

තම ලකුණු ලබාගැනීමේ යන්ත්‍රණය කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබූ රාජකීයයන් ජෝසප් ආරක්ෂක බළඇණිය වෙත දිගින් දිගටම දැඩි පීඩනයක් යොමු කළේ ඔවුන්ගේ දුර්වලතාවක් හඳුනා ගත් සැණින් පහර දීමේ අරමුණෙනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඒ අනුව යමින් ක්‍රියාත්මක වුනු රාජකීය කණ්ඩායමේ යසිස් රශ්මික ඉතා සූක්ෂම අයුරින් ධවල රේඛාව අභිබවා යාමට සමත් වූයේ දිනයේ දෙවන උත්සාහක දිනුමේ හිමිකාරත්වයත් සිය කණ්ඩායමේ ගිණුමට බැර කරමිනි. දුලාන් ගුණවර්ධන නැවත වරක් ඔහුගේ රාජකාරිය අකුරට ඉටු කරමින් ප්‍රවර්තනයේ ලකුණු ද්විත්වය දිනා දීමට යුහුසුළුව කටයුතු කළේය. (රාජකීය 14 – 00 සාන්ත ජෝසප්)

මෙතෙක් වේලා ක්‍රීඩා කළ තරග රටාව තවදුරටත් දියත් කළහොත් තරගය තමන්ගෙන් ගිලිහී යාමට ඉඩ ඇති බව අවබෝධ කර ගත් ජෝසප්වරුන් රාජකීය ආරක්ෂක පෙළ වෙත අභියෝග කළේ උත්සාහක කෙසේ හෝ උත්සාහක දිනුමක් වාර්තා කිරීමේ දැඩි අදිටනින්ය. එම වෑයමට වටිනාකමක් එක්කරමින් තම කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළ නැංවීමට ජෙර්ශෝම් තංගයියාහ් සහ සන්තුෂ් අල්ගම සුසංයෝගය සමත් වූයේ ජෝසප්වරුන්ගේ ලකුණු පුවරුව ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් පෝෂණය කරමිනි. (රාජකීය 14 – 07 සාන්ත ජෝසප්)

නොසිතූ වේලාවක එල්ල වූ සාන්ත ජෝසප් ප්‍රහාරය නිසාවෙන් එතෙක් වේලාවක් රාජකීයයන් විසින් ගොඩනැගූ පීඩනය තරමක් පහව යනු දක්නට ලැබුණු අතර සිදු වූ අතපසු වීමක් නිසාවෙන් ප්‍රථම භාගයෙහි අවසානයට විනාඩියකටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී දඬුවම් පහරක් ජෝසප්වරුන් හට තිළිණ කිරීමට රාජකීයයන් හට සිදු විය. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත් සන්තුෂ් අල්ගම ඉතා සාර්ථකත්ව පන්දුව ගෝල කුණු අතරින් පා කර හැරියේය. (රාජකීය 14 – 10 සාන්ත ජෝසප්)

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 14 – 10 සාන්ත ජෝසප් විද්‍යාලය 

දෙවන අර්ධය ආරම්භයේ දී ලකුණු පුවරුවේ පීඩනය ද සමඟින් තරගය වෙත අවතීර්ණ වූ රාජකීයයන් අතින් පළමු අර්ධයට සාපේක්ෂව වැඩි අත්වැරදීම් සංඛ්‍යාවක් සිදුවීම වඩාත් කැපී පෙණුනි.

එය අවස්ථාවක් කර ගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සියල්ලන්ම විමතියට පත්කරමින් රාජකීය අන්තය වෙත ක්ෂණික ආක්‍රමණයක් දියත් කළේ රාජකීය පසුපෙළ තරමක් අසීරු අඩියකට ඇඳ දමමිනි.

මෙවර කුසලාන ශූරතාවය කාටද?

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය අවසන් වීමට ඇත්තේ ….

තරිඳු මධුරංග විසින් ස්ථානෝචිතව යොමු කළ පන්දුව සුරක්ෂිතව රැක ගත් රශේන් ගුණවර්ධන ඉතා පහසුවෙන් සීමා රේඛාව පසු කර ගියේ ජයග්‍රහණයේ දොරටු දෙපිලටම විවෘත කරදෙමිනි. සන්තුෂ් අල්ගම සාන්ත ජෝසප් කණ්ඩායම වෙත වැදගත් ලකුණු ද්විත්වයක් දිනා දෙමින් තවදුරටත් තරගයේ උණුසුම තීව්‍ර කිරීමට සමත් විය. (රාජකීය 14 – 17 සාන්ත ජෝසප්)

ශූරතාව රැගෙන යනවා ද නැත්නම් හිස් අතින් ගෙදර යනවා ද යන දෙගිඩියාව රාජකීය ක්‍රීඩකයින්ගේ සිත් තුල සක්මන් කිරීමට පටන් ගන්නවාත් සමඟම ක්‍රියාත්මක වූ රාජකීය ප්‍රේක්ෂකයන් සිය කණ්ඩායම පසුපස සිටගනිමින් ඔවුන්ව දිරිගැන්වූයේ තම කණ්ඩායමට විශාල සවියක් සපයමිනි.

සිව්දෙසින් ලැබෙන්නා වූ පන්නරයෙන් නව පණක් ලැබූ රාජකීයයන් උත්සාහක දිනුම දෙකකින් ජෝසප්වරුන් හට සංග්‍රහ කළේ පාසල් රග්බි පිටියේ ශූරයින් අන්කිසිවෙකුත් නොව තමන් පමණක් බව ලෝකයාට හඩගා කියමිනි. (රාජකීය 24 – 17 සාන්ත ජෝසප්)

ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික තරගාවලිය 29 වැනිදා

ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ ….

එම අවස්ථාවන් දෙකෙහිදීම පුරෝගාමි කාර්යභරයක් ඉටු කරමින් තරගයේ ඉරණම රාජකීයයන් නමින් ලියාදීමට කටයුතු කිරීමට අචිත රධීශාන් සමත් වූයේ ThePapare.com තරගයේ වීරයා සම්මානයට ද පාත්‍ර වීමේ භාග්‍ය උදාකර ගනිමිනි. ප්‍රවර්තන අවස්ථාවන් යුගලය දුලාන් ගුණවර්ධන අතින් ගිලිහී ගිය නමුත් තුලෙයිබ් හසන්ගේ නායකත්වය යටතේ තරග වැඳී රාජකීයයන් හට දිනය අවසානයේ දී කෙසේ හෝ තරගය තම අණසක යටතට ගැනීමට සමත් වීම වඩාත් සුවිශේෂී වේ.

අවසන් ලකුණු තත්වය – රාජකීය විද්‍යාලය 24 – 17 ශාන්ත ජෝසප් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා අචිත රධීශාන්(රාජකීය)

ලකුණු රැස්කළ ක්‍රීඩක නාමාවලිය

රාජකීය විද්‍යාලය
උත්සාහක දිනුම් – රඦිදු ජයසූරිය 1, යසිස් රශ්මික 1, අචිත රධීශාන් 2
ප්‍රවර්තන – දුලාන් ගුණවර්ධන 2

සාන්ත ජෝසප් විද්‍යාලය 
උත්සාහක දිනුම් – ජෙර්ශෝම් තංගයියහ් 1, රශේන් ගුණවර්ධන 1
ප්‍රවර්තන ගෝල – සන්තුෂ් අල්ගම 2
දඬුවම් පහර – සන්තූෂ් අල්ගම 1

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<