රොජර් ෆෙඩරර්ගේ උඩපන්දුව රැකගත් ෂේන් වෝන්

අප නෑසූ ක්‍රිකට් විත්ති (දෙවැනි කොටස)

381
Unheard stories of cricket

ෂේන් වෝන් යනු අවිවාදයෙන්ම ලොව එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම පන්දු යවන්නන්ගෙන් කෙනෙකි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමෙන් අනතුරුව ෂේන් වෝන් බොහෝ කාලයක් ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග‍ය ඇතුළු තරගාවලි රැසක ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය.

විස්සයි විස්ස අවසන් තරගයෙන් බිහි වූ අපූරු වාර්තාව

2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ එක්තරා සුවිශේෂී…

2012/13 බිග් බෑෂ් තරගවාරයේ දී වෝන් බොහෝ දෙනෙකු සිතූ අන්දමින් සාර්ථක වූයේ නැත. එම තරගවාරය තුළ වෝන්ගේ පන්දු රැකීම ද සාර්ථක මට්ටමක තිබුණේ නැත. උඩ පන්දු කිහිපයක් ගිලිහී යෑම නිසා වෝන් වෙත තරමක පීඩනයක් ද තිබුණි. නමුත් කිසිවෙකු නොසිතන තැනක දී තම පන්දු රැකීමේ හැකියාව පෙන්වන්නට වෝන් සමත් විය.

2012/13 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව තරගය පැවැත්වුණේ රොජර් ෆෙඩරර් සහ ඇන්ඩි මරේ අතරය. මෙල්බර්න් නුවර පැවැත්වෙන මෙම තරගයේ ප්‍රේක්ෂකයින් අතර එවකට ක්‍රිකට් පිටියේ අසීරු කාලයක් ගත කරමින් සිටි ෂේන් වෝන් ද සිටියේය.

තරගයේ උද්වේගකර වටයක රොජර් ෆෙඩරර් වැරදීමකින් එල්ල කළ පහරක් නරඹන්නන්ගේ පෙදෙසට එනු දැක ගත හැකි විය. එවෙලේ නරඹන්නන් අතර සිටි යමෙකු ඉදිරියට නැඹුරු වෙමින් එම පන්දුව රැකගත්තේය. එවෙලේ ප්‍රේක්ෂකාගාරයෙන් මහත් ජයඝෝෂාවක් ඇතිවූ අතර රූපවාහිනි පුනරූපන පෙන්නුම් කළේ ඉදිරියට නැමී ෆෙඩරර් එල්ල කළ පහර රැකගත්තේ ෂේන් වෝන් බවයි.

වෝන්ට තමන්ගේ උඩපන්දු රැක ගැනීමේ දක්ෂතාව නැවත ලබා ගැනීමට ෆෙඩරර් සිද්ධිය මහත් රුකුලක් වනු ඇති බව ක්‍රිකට් විචාරකයෝ පසුව සිනහමුසුව මතක් කළහ.

ඡායාරූපය : www.dailymail.co.uk

1983 ලෝක කුසලාන ජය ඉන්දියානු සිනමාව සැමරූ හැටි.

ඉන්දියානු උපමහද්වීපයට ක්‍රිකට් කියන්නේ තවත් එක්තරා ආගමක්. අපේ රටත් එක්ක සංසන්දනය කරල බලද්දී ඉන්දියාවේ නම් ක්‍රිකට් උන්මාදය සෑහෙන උග්‍රයි. මේ උන්මාදය නිසාම ඉන්දියාවේ මිනිස්සු ක්‍රිකට් හා සම්බන්ධ අපූරු දේවල් කරනවා.

ඡායාරූපය : Getty Images

1983 වසරේ තුන්වැනි වතාවට එංගලන්තයේ දී පැවැත්වුණ පෘඩෙන්ෂල් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නට කපිල් දේව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම සමත් වෙනවා. ඒ අවසාන මහා තරගයේ දී ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් යුත් ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කරමින්. මේ ජයග්‍රහණය කිසිවෙක් අපේක්ෂා කළ එකක් නෙවෙයි. ඒ නිසාම ඉන්දියානු ජාතිකයින් මේ විජයග්‍රහණය සමරමින් අමුතු තාලයේ දේවල් කරන්න පෙළඹුනා. විජේ සිං කියන ඉන්දියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයා ද එවැන්නෙක්.

විජේ සිං ලෝක කුසලානය ජයග්‍රහණය කරපු ඉන්දියානු කණ්ඩායමේ සන්දීප් පටෙල් සහ සයිඩ් කිර්මානි ප්‍රධාන චරිත දෙක ලෙස තෝරාගෙන Kabhi Ajnabi The නම් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. මේ චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය දැරුවේත් විජේ සිං විසින්මයි.

1985 වසරේ මාර්තු මාසයේ තිරගතවීම ආරම්භ කරපු Kabhi Ajnabi The චිත්‍රපටය සන්දීප් පටෙල්ගේ සහ සයිඩ් කිර්මානිගේ ලෝක කුසලාන වික්‍රමය තරම් සාර්ථක වුනේ නෑ. සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාව පවසන විදියට Kabhi Ajnabi The චිත්‍රපටය ඒ වසරේ ඉන්දියාවේ තිරගත වූ අසාර්ථකම නිර්මාණවලින් එකක්. විජේ සිංගේ චිත්‍රපටය නොහිතපු විදියට අසාර්ථක වුනාට ඉන්දියානු සිනමාව සමඟ ක්‍රිකට් ක්‍රීඩාව අතර අදටත් තියෙන්නේ ගොඩාක් කිට්ටු සම්බන්ධතාවයක්.

අයන් මේඩ්න් සංගීතයටත් ක්‍රිකට්

ඡායාරූපය : https://www.pinterest.com

ලෝක ප්‍රකට රොක් සංගීත කණ්ඩායමක් වන අයන් මේඩ්න් (Iron Maiden) 2007 වසරේ ඉන්දියාවේ බැංගලෝර් නුවර සංචාරයක නිරත විය. මෙම සංචාරයේ ප්‍රචාරක පෝස්ටරයට අනිවාර්යයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කරගන්නට සංවිධායකයින්ට සිදු විය. අයන් මේඩන් සංගීත කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කළ මුල්ම අවස්ථාව එය විය.

වවුලාගේ මඟුලට ගියොත් එල්ලී සිටිය යුතු අතර ඉන්දියාවට ගියොත් තමන් කෙතරම් ලෝ ප්‍රකට වුවද ක්‍රිකට් සමඟ සම්බන්ධ විය යුතු බව අයන් මේඩ්න් පවා වටහා ගන්නට ඇත.

ඩේවිඩ් හුක්ස්ගේ මරණයෙන් හෙළිවන අපූරු කතාව.

2004 වසරේ ජනවාරි මස දිනක ඩේවිඩ් හුක්ස් නම් ඕස්ට්‍රේලියාව නියෝජනය කළ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයා රාත්‍රී සමාජශාලාවක ආරක්ෂක නිලධාරියෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් සිහිසුන්ව ඇද වැටුණේය. වහා වහා රෝහල් ගත කළත් ප්‍රහාරයේ දැඩි ස්වරූපය නිසාම හුක්ස් නැවත සිහි නොලබාම ජීවිතයෙන් සමුගත්තේය.

ඩේවිඩ් හුක්ස් යනු ඕස්ට්‍රේලියානුවන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් හිණිපෙත්තටම යාවි යැයි ඉමහත් බලාපොරොත්තු තබාගෙන සිටි චරිතයකි. ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ටත් වරෙක සමාන කළ නමුත් ඕස්ට්‍රේලියානුවන් සිතූ පැතූ ආකාරයෙන් සාර්ථකවන්නට ඔහුට ඉඩ කඩ ලැබුණේ නැත. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව විස්තර විචාරයෙකු ලෙස කටයුතු කළ හුක්ස් මිය යන අවස්ථාවේ වික්ටෝරියානු ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළේය.

ඡායාරූපය : Getty Images

තමන් දිගු කලක් නියෝජනය කළ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයට එරෙහිව වික්ටෝරියානු කණ්ඩායම ලැබූ ජයග්‍රහණයක් සමරන්නට කණ්ඩායම් දෙකේ සාමාජිකයින් පිරිසක් සමඟ මෙල්බර්න්’හි රාත්‍රී සමාජශාලාවකට ගිය අතර එහි දී කලහකාරී ගැටුමකට මැදිහත්වීම නිසා හුක්ස් මෙලෙස මාරාන්තික ප්‍රහාරයට ලක්විය.

හුක්ස්ගේ අනතුර මෙසේ වෙද්දී එදිනම මෙල්බර්න් නුවර තවත් මේ ආකාරයේම අනතුරක් සිදු විය. මැට් ගෝර්ලි නම් රාත්‍රි සමාජශාලාවක ආරක්ෂක නිලධාරියෙකු මෙලෙස අනතුරට මුහුණ පෑවේ බැට් පිත්තකින් හිසට පහරක් එල්ල වීමෙනි. ගෝර්ලි පහර කෑවේ හුක්ස් පුහුණුකාරීත්වය දැරූ එදින තරගයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් ලද වික්ටෝරියානු කණ්ඩායමේ සාමාජිකයින් සියලු දෙනා අත්සන් තැබූ පිත්තකින් වීම සුවිශේෂී කාරණාවකි. අවසානයේ එකම රෝහලේ එකිනෙකට ආසන්නයේ පිහිටි කුටි දෙකක ප්‍රතිකාර ලබන්නට වික්ටෝරියානු කණ්ඩායමේ පුහුණුකරුවාටත්, වික්ටෝරියානුවන් අත්සන් තැබූ සමරු පිත්තෙන් පහර කෑ මැට් ගෝර්ලිටත් සිදුවීම සැබැවින්ම දෛවෝපගත සිද්ධියක් විය.

ලෝක වාර්තාව සහ 153හේ අපලය.

එක්දින තරගයක තනි ඉනිමක ලකුණු 200ක් ලබා ගැනීම කලක් තිස්සේ සිහිනයක්ව පැවතුණි. එක්දින ජාත්‍යන්තර තරගයක මුලින්ම ලකුණු 200 සීමාව ඉක්මවා ලකුණු රැස්කළ ක්‍රීඩකයා වූයේ ඉන්දියාවේ සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ය. ඔහු මෙම දස්කම දැක්වූයේ දකුණු අප්‍රිකාවට එරෙහිව ග්වලියර් හීදීය. මෙම තරගය ඉන්දියාව ජයගත්තේ ලකුණු 153කිනි.

ඉන් අවුරුද්දක ඇවෑමෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති එක්දින තරගයක දී ඉන්දියාවේ විරේන්ද්‍ර සේවාග් තෙන්ඩුල්කාර්ගේ වාර්තාව ඉක්මවා යමින් ලකුණු 219ක් ලබා ගත්තේය. මෙම තරගයත් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 153ක පරතරයකිනි.

සේවාග්ගේ මෙම ලකුණු 219 වාර්තාව අභිබවා ගියෙත් ඉන්දියානුවෙකි. රොහිත් ෂර්මා ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 264ක් ලබා ගනිමින් සේවාග්ගේ වාර්තාව අලුත් කරමින් ලෝක වාර්තාව ලබා ගත් අතර මෙම තරගයත් ඉන්දියාව ජය ගත්තේ ලකුණු 153ක් පරතරයක් තබා ගනිමිනි.

ඡායාරූපය :  Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<