රාජකීය සහ සාන්ත සෙබස්තියන් සම ශූරයන් වේ

106
U19 Inter-Schools Division 1 Tier A Final

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගයෙන් සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier A කාණ්ඩයේ සම ශූරයන් බවට පත් වීමට කොළඹ රාජකීය විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් වූවා.

තෙදින තරගයක් ලෙසින්, කොළඹ P Sara Oval ක්‍රීඩාංගණයේ දී (10) නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවා.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 201ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ ද ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 201ක් පමණයි.

පළමු ඉනිමේ ලකුණු සම වීමෙන් අනතුරු ව දෙවැනි ඉනිමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 252ක් ලබා සිටියා.

රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

රෙහාන් පීරිස් (නායක), මතීශ ලියනාරච්චි, ඉසුලු ගීගනගේ, සෙහඳු සූරියආරච්චි, යුක්තිල දිසානායක, තෙවිඳු වේවැල්වල, තරුල් අම්පෙමොහොට්ටි, දුශේන් උඩවෙල, උදන්ත ගංගෙවත්ත (කඩුලු රකින්නා), නෙත්සිලු අබේවර්ධන, රනුක මලවිආරච්චි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

රයන් දිසානායක (නායක), කවීෂ පෙරේරා, ලශේන් ප්‍රනාන්දු, උශේන් සිල්වා, සොනාල් අල්මේදා, නවෝද් ප්‍රනාන්දු, මලින්ත සිල්වා, කොශේන්ද්‍ර ප්‍රනාන්දු, ශෙෆාන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), අදීශ ලක්ශාන්, ශෙනාස් හශේන්.

පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දුශේන් උඩවෙල. ඔහු පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා ගත්තා.

ඊට අමතර ව තරුල් අමේපෙමොහොට්ටි පන්දු 94කට මුහුණ දෙමින් ලකුණු 31ක් ද, ඉසුලු ගීගනගේ පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ද සහ සෙහඳු සූරියආරච්චි පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මලින්ත සිල්වා සහ රයන් දිසානායක කඩුලු 4ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව ශෙනාස් හශේන් කඩුලු ද්විත්වයක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් ආරම්භක පිතිකරු කවීෂ පෙරේරා පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා.

ඊට අමතර ව රයන් දිසානායක පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් ද සමඟින් නොදැවී ලකුණු 47ක් ද, සොනාල් අල්මේදා පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ද සහ ලශේන් ප්‍රනාන්දු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සඳුල් අබේවර්ධන ලකුණු 78කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව දුශේන් උඩවෙල කඩුලු 3ක් ද සහ තරුල් අම්පෙමොහොට්ටි කඩුල්ලක් ද දවා ගත්තා.

දෙවැනි ඉනිමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලය වෙනුවෙන් ආරම්භක පිතිකරු නායක රෙහාන් පීරිස් සහ හිරුන් ලියනාරච්චි පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක සබඳතාවක් ගොඩ නගනවා. එම සබඳතාව වෙනුවෙන් රෙහාන් පීරිස් පන්දු 140කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ද සහ හිරුන් ලියනාරච්චි පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව දුශේන් උඩවෙල පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ද, රනුක මලවිආරච්චි පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 28ක් ද සහ උදන්ත ගනගෙවත්ත පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මලින්ත සිල්වා ලකුණු 56කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව අදීශ ලක්ශාන්, ශෙනාස් හශේන් සහ කොශේන්ද්‍ර ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 201 (87.2) ඉසුල ගීගනගේ 29, සෙහඳු සූරියආරච්චි 20, තරුල් අම්පෙමොහොට්ටි 31, දුශේන් උඩවෙල නොදැවී 46, රයන් දිසානායක 4/62, මලින්ත සිල්වා 4/37, ශෙනාස් හශේන් 2/37

 

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 201 (97.5) කවීෂ පෙරේරා 56, ලශේන් ප්‍රනාන්දු 22, සොනාල් අල්මේදා 25, රයන් දිසානායක නොදැවී 47, දුශේන් උඩවෙල 3/57, සඳුල් අබේවර්ධන 5/78

 

රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 252 (93.4) රෙහාන් පීරිස් 65, හිරුන් ලියනාරච්චි 47, දුශේන් උඩවෙල 46, උදන්ත ගන්ගෙවත්ත 23, රනුක මලවිආරච්චි නොදැවී 28, මලින්ත සිල්වා 5/56

තරගයේ විසඳුමක් නෑ.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<