U 19 Youth පිටිය කළඑළි කළ ක්‍රීඩිකාවෝ

18
U 19 Girls Sri Lanka Youth League T20 Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්සයි Youth League ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ ශූරියන් බවට පත් වීමට Galle ක්‍රීඩිකාවෝ සමත් වෙද්දී එහි අනුශූරතාව Colombo කණ්ඩායම විසින් හිමිකර ගත්තා.

තරග 13කින් සමන්විත වූ මෙම තරගාවලිය සඳහා Galle, Colombo, Kandy සහ Dambulla යන කණ්ඩායම් සහභාගී වූ අතර ඔවුන් දින 7ක් පුරා මෙම ශූරතාවලිය සඳහා එකිනෙකා හා සටන් වැදුණා. එහි දී කඩුලු බිඳ වැටීම් 167ක් වාර්තා වෙද්දී ලකුණු 2325ක් ඊට එක් කර තිබුණා. මේ එම දක්ෂතා අතුරින් තෝරා ගත් සුවිශේෂී ක්‍රීඩිකාවන් ගැන තැබෙන සටහනක්.

අවසන් මහා තරගයේ වීරයා නෙතගි ඉසුරාංජලී (Galle)player of the final

රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා ජාතික ක්‍රිකට් පිටියට පිවිසි නෙතගි ඉසුරාංජලී මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වෙන්නේ පිතිකාරිනියක ලෙසින් පෑ දක්ෂතා හේතුවෙනුයි.

තවමත් 16 හැවිරිදි වියේ පසුවෙන ඇය අවසන් මහා තරගයේ දී Galle ඉනිම අවසන් වෙද්දී පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 77ක් ලබා ගන්නවා. එය මෙවර තරගාවලියේ ක්‍රීඩිකාවක් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.

එමෙන් ම ඇය රශ්මි නේත්‍රාංජලී හා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 79ක දී නොදැවුණ ලකුණ 103ක් එක් ද එම ඉනිමේ දී එක් කිරීමට සමත් වෙනවා.

ඇය ගේ මෙම ඉනිමත් සමඟින් ඇය මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ 1 වැනි ස්ථානය ද හිමි කර ගන්නවා. ඒ ඇය ඉනිම 7ක දී ලබා ගත් ලකුණු 201ත් සමඟිනුයි. එහි සාමාන්‍ය 40.2ක් ලෙසින් පවත්වා ගැනීමට ද ඇය සමත් වෙනවා.

ඊට අමතර ව ඇය තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩිකාව ද වූවා. ඇය එල්ල කළ හයේ පහර සංඛ්‍යාව 3ක්.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – රිශ්මි සංජනා (Galle)

best bowler

මෙවර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය බවට පත් වෙන්නේ දකුණතින් පිට දඟ පන්දු යැවූ 18 හැවිරිදි වියේ පසුවෙන රිශ්මි සංජනා. මාතර අනුර විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි රිශ්මි සංජනා මේ වන විට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම ද අවස්ථා කිහිපයක දී ම නියෝජනය කර තිබෙනවා. Galle කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළේ ද ඇයයි.

මෙවර තරගාවලියේ දී ඇය මෙම සම්මානයට හිමිකම් කියන්නේ තරග 7ක දී කඩුලු 12ක් දවා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙනුයි. එම දක්ෂතා අතර ඇයගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Dambulla කණ්ඩායමට එරෙහි ව ලකුණු 11කට දවා ගත් කඩුලු 5යි.

ඊට අමතර ව ඇය Kandy කණ්ඩායමට එරෙහි ව ද ලකුණු 14කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඇය එලෙසින් සම්මාන ලබා ගනිද්දී තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 2 වැනි ස්ථානය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මානයට පත් Dambulla කණ්ඩායමේ නෙත්මි උපේක්ෂා ට හිමි වෙන අතර 3 වැනි සහ 4 වැනි ස්ථාන කඩුලු 9ක් බැගින් දවා ගත් ප්‍රමුදි මෙත්සරා සහ දිනිති නාගසිංහ වෙත හිමි වෙනවා.

Kandy කණ්ඩායම නියෝජනය කළ දකුණතින් පිට දඟ පන්දු යවන ප්‍රමුදි මෙත්සරා ඉනිම 6ක දී මෙම දක්ෂතාව දක්වන අතර Colombo කණ්ඩායම නියෝජනය කළ දිනිති නාගසිංහ තරග 7ක දී මෙම දක්ෂතාව දක්වනවා. දිනිති ගේ දක්ෂතා අතර Dambulla කණ්ඩායමට එරෙහි ව ලකුණු 18කට ලබා ගත් කඩුලු 4ක් ද තිබෙනවා.

මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය  Dambulla කණ්ඩායමේ දනුලි තෙන්නකෝන් වෙත හිමි වෙන්නේ තරග 6ක දී කඩුලු 8ක් ලබා ගැනීමේ දක්ෂතාවත් සමඟිනුයි. එම දක්ෂතාම දක්වමින් මෙම ලැයිස්තුවේ 6 වැනි ස්ථානයට ලැයිස්තු ගත වීමට තවත් Dambulla ක්‍රීඩිකාවක වූ චලනි කවීශා සමත් වෙනවා.

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් 5 දෙනා

Player Team Mat Over Runs Wkts Ave Best 4w
1 රිශ්මි සංජනා Galle 7 25.1 102 12 8.5 5/11 2
2 නෙත්මි උපෙක්ෂා Dambulla 6 20.1 93 10 9.3 3/14 0
3 ප්‍රමුදි මෙත්සරා Kandy 6 19.0 91 9 10.11 3/13 0
4 දිනිති නාගසිංහ Colombo 7 24.1 121 9 13.44 4/18 1
5 දනුලි තෙන්නකෝන් Dambulla 6 17.0 78 8 9.75 3/15 0

තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය – සංජනා කාවින්දි (Galle)

best batter

රත්ගම දේවපතිරාජ විද්‍යාලය නියෝජනයක කරමින් Galle කණ්ඩායම හා එක් වූ සංජනා කාවින්දි තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය ලෙසින් සම්මානයට පත් වෙන්නේ තරගාවලියේ ඉනිම 7ක දී ලකුණු 196ක් ලබා ගත් දක්ෂතාවත් සමඟිනුයි.

මෙවර තරගාවලියේ වාර්තා වූ අර්ධ ශතක 4න් ද්විත්වයකට ම හිමිකම් කීමට ඇය සමත් වෙනවා. ඒ අතුරින් ඇය ගේ හොඳම ඉනිම බවට පත් වූයේ Kandy කණ්ඩායමට එරෙහි ව පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලබා ගත් ලකුණු 58යි.

ඊට අමතර ව ඇය Dambulla කණ්ඩායමට එරෙහි ව පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 57ක් ද ලබා ගන්නවා.

ඇය විසින් ලබා ගත් මෙම ලකුණු අතරට හතරේ පහර 25ක් ඇතුලත් කරනවා. එය මෙවර තරගාවලියේ ක්‍රීඩිකාවක් විසින් එල්ල කරන ලද වැඩිම හතරේ පහර සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ.

තවමත් 16 වැනි වියේ පසුවෙන මේ වමත් පිතිකාරිනිය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලි කිහිපයකට ම එක් වී තිබෙනවා. එම තරග අතර ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහි ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබා ගත් අර්ධ ශතකයක් ද ඇතුලත්. මෙවර Galle කණ්ඩායමේ උප නායකත්වයේ කටයුතු කළේද ඇයයි.

තරගාවලියේ දක්ෂතම පිතිකාරිනියන් අතුරිය ඇය එලෙස ඇගයීම් ලබද්දී නිමා වූ තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ 3 වැනි ස්ථානය හිමි වෙන්නේ Kandy කණ්ඩායමේ විමෝක්ෂා බාලසූරිය වෙතයි. ඇය මෙම තරගාවලියේ දී ඉනිම 6ක දී ලකුණු 103ක් ලබා ගනිමින් මෙම ස්ථානය තහවුරු කරගන්නවා.

ඇයගේ මෙම ලකුණු අතර ඉහළ ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ  Galle කණ්ඩායමට එරෙහි ව පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 44යි.

ත්‍රීකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට පිවිසි ඇය මේ වන විට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමේ ද සාමාජිකාවක් ව සිටිනවා.

මෙම ලැයිස්තුවේ සිව් වැනි ස්ථානය හිමි වෙන්නේ තවත් Kandy ක්‍රීඩිකාවක වූ චංචලා බෝලවත්තටයි. ඇය ඉනිම 5ක දී ලකුණු 99ක් ලබා ගනිමින් මෙම ස්ථානයට පත් වෙද්දී, ඇයගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ Galle කණ්ඩායමට එරෙහි ව පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 48යි.

මෙම ලැයිස්තුවේ 1 වැනි ස්ථානය තරගාවලියේ අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූ නෙතගි ඉසුරාංජලීට ද 5 වැනි ස්ථානය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූ නෙත්මි උපේක්ෂාට ද හිමි වෙනවා.

ඊට අමතර ව මෙවර තරගාවලියේ වාර්තා වූ අර්ධ ශතක අතරට Colombo කණ්ඩායමේ උමයංගා පීරිස් විසින් එක් කළ අර්ධ ශතකයක් ද තිබෙනවා. ඇය Dambulla කණ්ඩායමට එරෙහි ව පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත් අතර මෙවර තරගාවලියේ ඉනිම 7ක දී ලකුණු 87ක් ලබා ගනිමින් වැඩිම ලකුණුලාභිනියන් අතර 6 වැනි තැනට ලැයිස්තු ගත වෙනවා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනියන් 5 දෙනා

Player Team Mat Inns NO Runs HS Ave 50 4s 6s
1 නෙතගි ඉසුරාංජලී Galle 7 7 2 201 77* 40.2 1 23 3
2 සංජනා කාවින්දි Galle 7 7 1 196 58 32.67 2 25 2
3 විමෝක්ෂා බාලසූරිය Kandy 6 6 1 103 44* 20.6 0 7 0
4 චංචලා බෝලවත්ත Kandy 5 5 1 99 48* 24.75 0 13 0
5 නෙත්මි උපේක්ෂා Dambulla 6 6 0 94 38 15.67 0 6 0

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – නෙත්මි උපෙක්ෂා (Dambulla)

Player of the tournament

17 හැවිරිදි වියේ පසුවෙන නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි නෙත්මි උපෙක්ෂා තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මානයට පත් වෙනවා.

Dambulla කණ්ඩායම නියෝජනය කළ ඇය මෙවර තරගාවලියේ දී ඉනිම 5ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 94ක්. ඒ අතර ඇයගේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ Kandy කණ්ඩායමට එරෙහි ව පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 38යි.

දකුණතින් පිට දඟ පන්දු යවන්නියක ලෙසින් ද දක්ෂතා දැක් වූ ඇය  මෙවර තරගාවලියේ දී කඩුලු 10ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 2 වැනි ස්ථානයට ද පත් වෙනවා. ඇයගේ පන්දු යැවීමේ ඉහළ ම දක්ෂතාව වූයේ Kandy කණ්ඩායමට එරෙහි ව ලකුණු 14කට දවාගත් කඩුලු 3යි.

ඇය මේ වසරේ මෙම සම්මානය දිනා ගැනීමට ප්‍රථම කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සංවිධානය කළ කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් සම්මාන උළෙලේ දී වයස අවුරුදු 19න් පහළ දක්ෂතම පිතිකාරිනිය ලෙසත්, Supper Provincial  තරගාවලියත් සහ පළාත් තරගාවලිය නියෝජනය කිරීම වෙනුවෙනුත් ඇගයීමට ලක් ව තිබුණා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<