සංජන, සනුජ සහ මෙනුල දක්ෂතා දක්වයි

U19 School Cricket 2026

12
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (8) ආරම්භ වූ අතර එම තරගවල දී සංජන සෙනවිරත්න, සනුජ දිසානායක සහ මෙනුල දඹකුඹුර දක්ෂතා දැක් වූවා.

ඒ අතුරින් දිනයේ වාර්තා වූ එක ම ශතකයේ හිමිකාරීත්වය  මොරටුව විද්‍යාලයේ දකුණත් පිතිකරු සංජන සෙනවිරත්න සතු වුණා. ඔහු කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට එරෙහි ව පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තා.

එමෙන් ම ඔහු තම ඉනිම තුළ දී ආරම්භක පිතිකරු දෙනෙත් සිතුමිණ හා එක් වී 2 වැනි කඩුල්ලට ලකුණු 152ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී දෙනෙත් සිතුමිණ පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 54ක් ලබා ගන්නවා.

පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීමේ ගෞරවය කොළඹ ඉසිපතන විද්‍යාලයේ මෙනුල දඹකුඹුර සතු කර ගන්නවා. ඔහු කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහි ව ලකුණු 40කට කඩුලු 5ක් දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කරනවා.

ඊට අමතර ව සාන්ත ආනා විද්‍යාලයේ සනුජ දිසානායක ලකුණු 85කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ මොරටු විද්‍යාලයට එරෙහිවයි.

මොරටු විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර තරගය, මොරටු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත ආනා විද්‍යාලය

  • මොරටු විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 288 (77.4)දෙනෙත් සිතුමිණ 54, සංජන සෙනවිරත්න 111, සිතුම් සිල්වා 20, මෙනුක කොතලාවල නොදැවී 39, සනුජ දිසානායක 5/85, යශ්මිත ජයසුන්දර 2/28, නෙසාද් වීරසේකර 2/93
  • සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 31 (7.4) විහඟ නෙත්සර 2/21

සාන්ත ආනා විද්‍යාලය තවත් ලකුණු 257ක් පිටුපසින්.

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය කඩුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – ඉසිපතන විද්‍යාලය

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (35.1)දිනිඳු ඩිලාන් 48, මහීෂ සිතුම් 25, තරිඳු නවීන් 2/39, මෙනුල දඹකුඹුර 5/40, දිමුතු තාරුක 2/13
  • ඉසිපතන විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 81 (23.5) කවිඳු දෙව්ශාන් 24, මහීෂ සිතුම් 3/19, සචින්ත සංදීප 2/33

ඉසිපතන විද්‍යාලය ලකුණු 64ක් පිටුපසින්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<