2017 පාසල් මහා ක්‍රිකට් තරග සඳහා වේදිකාව විවර කරමින් මේ සති අන්තයේ දී කොළඹ තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාල තරග බිමට පිවිසීමට නියමිතයි. බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලාන සඳහා පැවැත්වෙන 54 වන සහෝදරයන්ගේ සටන මේ මස 24 සහ 25 දෙදින තුල පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දීයි.

සල්පිටි රයිගම් කොරළ හටනේ ශූරතාවය මෙවරත් පිළියන්දලට?

වසර 4ක් “සල්පිටි රයිගම් කොරළ හටනේ” හිමිකරුවන් වූ පිළියන්දල මධ්‍ය විදුහල් ක්‍රීඩකයෝ මෙවරත් ජයග්‍රහණය අපේක්ෂාවෙන් පෙබරවාරි 24, 25 සහ 26 දිනයන් හි හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය සමඟ තරග කිරීමට සූදානමින් සිටියි.

තරගාවලියේ වර්ධනය

මහා ක්‍රිකට් තරග 53කට පසු සහෝදරයන්ගේ සටන විසඳුමක් සහිතව අවසන් වූ අවස්ථා ඇත්තේ 9ක් පමණයි. එහිදී තර්ස්ටන් විද්‍යාලය තියුණු ලෙස පෙරමුණේ පසුවන්නේ ජයග්‍රහණ 5ක් සමඟින් වන අතර ඉසිපතන විද්‍යාලය ජයගෙන ඇති මහා ක්‍රිකට් තරග සංඛ්‍යාව 4ක්. ඉතිරි තරග 44ම අවසන් වී ඇත්තේ ජය පැරදුමෙන් තොරවයි. 1999 වසරේ දී තුශාන්ත ජයවර්ධනගේ ඉසිපතන කණ්ඩායම අවසන් වරට මහා ක්‍රිකට් තරගය ජය ගන්නට සමත්කම් දැක්වීම හේතුවෙන් ශූරතා කුසලානයේ වර්තමාන හිමිකරුවන් වන්නේ ඉසිපතන විද්‍යාලයයි. තර්ස්ටන් විද්‍යාලය 1992 වසරේ මැකෙන්සි පෙරේරාගේ නායකත්වය යටතේ සහභාගී වූ සහෝදරයන්ගේ සටන ඔවුන්ගේ අවසන් ජයග්‍රාහී අවසානයි.

සමන් නිශාන්ත ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් 2002 වසරේ දී රැස් කළ නොදැවුණු ලකුණු 150ක ඉනිම සහෝදරයන්ගේ සටන් ඉතිහාසයේ සාර්ථකම පිතිකරණ වාර්තාවයි. හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සහ වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරුවකු ලෙසද කටයුතු කරන නුවන් සොයිසා 1996 මහා ක්‍රිකට් තරගයේ ඉනිම දෙකේදී කඩුලු 10ක් දවා ගැනීම මෙතෙක් වාර්තා වූ හොඳම පන්දු යැවීමයි. මෙවර තර්ස්ටන් කණ්ඩායමේ නායක කසුන් අබේරත්න පසුගිය මහා ක්‍රිකට් තරගයේ දී නොදැවී රැස් කළ ලකුණු 147 ඔවුන්ගේ මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ හොඳම පෞද්ගලික ඉනිම ලෙස සටහන් වේ.

මේ විද්‍යාල දෙකම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තරු බිහි කිරීමට දායක වී ඇති අතර අමිත ද කොස්තා, නිරෝෂන් බණ්ඩාරතිලක, හේමන්ත බොතේජු සහ ලහිරු ගමගේ තර්ස්ටන් විද්‍යාලයෙන් ද, ජයන්ත පරනාතල, සුරේෂ් පෙරේරා, නුවන් සොයිසා සහ සංජීව වීරසිංහ ඉසිපතන විද්‍යාලයෙන් ද ජාත්‍යන්තරය ජය ගත් ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස හැඳින්විය හැක.

තර්ස්ටන් විද්‍යාලය

මෙවර සිංගර් අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකරගත් පාසල ලෙස තර්ස්ටන් විද්‍යාලය ‘D’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ජයග්‍රහණ 8ක් ද සමඟයි. මෙවර මහා ක්‍රිකට් තරගයට පෙර අවසන් වරට පැවති තරග 4ම පූර්ණ ජයග්‍රහණ සමඟින් අවසන් කළ ඔවුන් එම ජයග්‍රහණ සංඛ්‍යාව 5 දක්වා වැඩි කරගෙන වසර 25ක මහා ක්‍රිකට් තරග ශූරතා නියඟය අවසන් කරන්නට මහත් බලාපොරොත්තු සහගතව පසුවනු ඇති.

පසුගිය මහා ක්‍රිකට් තරගයේ දී ශතකයක් වාර්තා කළ කසුන් අබේරත්න මෙවර තරග වාරය තුල තවමත් සුපුරුදු දස්කම් අතරට පැමිණ නොමැති අතර ඔහුගේ ලකුණු එකතුව තවමත් දැක්වෙන්නේ ලකුණු 253ක් ලෙසින්. කෙසේ වෙතත් නායකත්වයේ වගකීම ද හිස දරා සිටින කසුන් මෙම සුවිශේෂී තරගයේ දී තම පිත්තේ රිද්මය නැවත සොයා ගැනීමේ දැඩි අභිලාෂයෙන් පසුවනු නොඅනුමානය.

6 වන වසරේ වර්ණලාභී සහ පසුගිය වසරේ නායක චරණ නානායක්කාර මෙම තරග වාරයේ සුපිරි දස්කම් ප්‍රකට කල ක්‍රීඩකයෙකි. ඔහු  තර්ස්ටන් වේග පන්දු බල ඇණියේ මාරාන්තික අවියක් බවට පත්වූයේ වරක් දෙවරක් නොවේ. නව පන්දුවෙන් ඉහල දස්කම් පෙන්වූ චරණ මෙම තරග වාරයේ කඩුලු 45කට ආසන්න සංඛ්‍යාවක් දවා ගෙන තිබෙන්නේ ඔහුගේ අනෙක් වේග පන්දු සහකරු වන නිපුන් ලක්ශාන්ගේ සහයද සමඟයි.

මීට අමතරව චරණ පිත්තෙන් ද දස්කම් දක්වා ඇත්තේ අර්ධ ශතක 5ක් සහ ශතකයක් සමඟ ලකුණු 700 සීමාව පසු කර යමිනුයි. සවන් ප්‍රභාෂ් තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 500 සීමාව පසු කල ක්‍රීඩකයෙකි.

තර්ස්ටන් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වෙමින් මෙවර තරග වාරයේ දී කඩුලු 70 සීමාව ද පසුකර තිබෙන වමතින් දඟපන්දු යවන ක්‍රීඩක නවීන් ගුණවර්ධන ඉසිපතන මැදපෙළ බිඳ දැමීම සඳහා විශාල වගකීමක් සමඟ තරගයට පිවිසෙනු ඇති.

මහා ක්‍රිකට් තරගය සඳහා කණ්ඩායම (අපේක්ෂිත)

කසුන් අබේරත්න, යෙශාන් වික්‍රමාරච්චි, ඉමේෂ් විරංග, සවන් ප්‍රභාෂ්, ප්‍රගීෂ මෙන්ඩිස්, චරණ නානායක්කාර, නිමේෂ් ලක්ෂාන්, නිපුන් ලක්ෂාන්, නවෝද් සමරකෝන් , තුශාල් මධුශංක, නවීන් ගුණවර්ධන.

ඉසිපතන විද්‍යාලය.

ජාතික කනිෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනෙකුගෙන් ද සමන්විත ඉසිපතන කණ්ඩායම මෙවර තරග වාරයේ දී වාර්තා කිරීමට සමත්ව ඇත්තේ පූර්ණ ජයග්‍රහණ 2ක් පමණයි. සිංගර් වයස අවුරුදු 19න් පහල පාසල් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 5 වන ස්ථානයට පත්වූ ඔවුන් හට මෙවර දෙදින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට හෝ එක්දින තරගාවලිය සඳහා හෝ සුදුසුකම් ලැබීමට නොහැකි විය.

කණ්ඩායමේ නායකත්වය දරන සිව්වන වසරේ වර්ණලාභී සංජුල අබේවික්‍රම තාක්ෂණයෙන් පිරිපුන් වමත් මුල්පෙළ පිතිකරුවෙකු සහ කඩුලු රකින්නා ද වන අතර පසුගිය වසරේ දකුණු අප්‍රිකානු 19න් පහළ කණ්ඩායම සමඟ පැවති යොවුන් තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතයට ද ඇතුලත් වූ ඔහු මෙවර තරග වාරයේ තරග 10ක් තුල ලකුණු 600කට ආසන්න සංඛ්‍යාවක් ලබා සිටී. එමෙන්ම සංජුල ඉසිපතන විද්‍යාලයේ ඉතිහාස පොත් අතරට එක්වීමට නියමිත වන්නේ එම විද්‍යාල කණ්ඩායමට මහා ක්‍රිකට් තරග වලදී නායකත්වය සැපයු පළමු පිය – පුතු යුගලය බවට පත් වෙමිනුයි. සංජුල ගේ පියා වන අනුර අබේවික්‍රම 1984 මහා ක්‍රිකට් තරගයේදී ඉසිපතන කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩකයායි.

ඉසිපතන කණ්ඩායමේ වඩාත්ම කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙන්නේ දකුණතින් පිත්ත හසුරුවන ක්‍රීඩක පැතුම් නිස්සංකයි. තරග 9කදී ඔහු වාර්තා කර ඇති ලකුණු 927ට ද්විත්ව ශතකයක් ද ඇතුළත් වෙයි. ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ කණ්ඩායම නියෝජනය කළ අත්දැකීම්ද සමඟින් මහා ක්‍රිකට් තරගයට පිවිසෙන පැතුම්, එහිදී තම පෞද්ගලික ලකුණු 1000 පසු කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවනු ඇති.

වේගයෙන් පන්දුවට පහරදෙන මැදපෙළ පිතිකරුවෙකු සහ මනා පාලනයකින් යුතු පිට දඟපන්දු යවන්නෙකු ලෙස ප්‍රකට උප නායක අයන සිරිවර්ධන තම තුන්වන වසර සඳහා ක්‍රීඩා කරන අතර මෙවර තරග වාරයේ දී ලකුණු 580කට වැඩි ප්‍රමාණයක් සහ 20කට ආසන්න කඩුලු සංඛ්‍යාවකට හිමිකම් කියයි. ඉසිපතන කණ්ඩායමේ ද වැඩිම කඩුලු ලාභියා වමත් දඟ පන්දු යවන්නකු වන අතර ඒ තරග 12ක දී කඩුලු 60ක් දවාගෙන ඇති ලහිරු ඩිල්ශාන් ක්‍රීඩකයායි.

SSC තණතීරුවේ පළමු පෙළ ක්‍රිකට් තරග පවා ක්‍රීඩා කර තිබෙන වේග පන්දු යවන ක්‍රීඩක නෙරංජන් වන්නිආරච්චි තම අත්දැකීම් උපයෝගී කර ගනිමින් සිය කඩුලු 25ක එකතුව තවත් වර්ධනය කර ගැනීමට සැරසෙයි. තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන හේෂාන් ප්‍රනාන්දු ද මෙවර තරග වාරයේ දී ලකුණු 500 සීමාව පසු කිරීමට සමත් වී තිබේ.

මහා ක්‍රිකට් තරගය සඳහා කණ්ඩායම (අපේක්ෂිත)

පැතුම් නිස්සංක, කලන පෙරේරා, හේෂාන් ප්‍රනාන්දු, සංජුල අබේවික්‍රම, සංජුල බණ්ඩාර, අයන සිරිවර්ධන, ලෙශාන් අමරසිංහ, හර්ෂ රත්නායක, ලහිරු ඩිල්ශාන්, ලිසුර වීනාත්, නෙරංජන් වන්නිආරච්චි.

සාරාංශය

තර්ස්ටන් විද්‍යාලය මෙන්ම ඉසිපතන විද්‍යාලය ද මහා ක්‍රිකට් තරගයේ දී ධනාත්මක මනසකින් ක්‍රීඩා කිරීමට පෙළඹිය යුත්තේ SSC ක්‍රීඩාංගණය වසා ගන්නා ක්‍රීඩාලෝලීන් හට ආශ්වාදයක් ලබා දීමට පමණක් නොවේ. ඒ කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී තරග රටාවකට අවතීර්ණ නොවුනහොත් සහෝදරයන්ගේ සටන නොකඩවා 18 වන වරටත් ජය පරාජයෙන් තොරව අවසන් වීමට වැඩි ඉඩ කඩක් පැවතීම හේතුවෙනුයි.