පා දඟ පන්දුවෙන් ඉතාලිය දිනවන ශ්‍රී ලාංකිකයා ‘ක්‍රිශාන් කලුගමගේ’

ICC Men's T20 World Cup 2026

1
ICC Men's T20 World Cup 2026

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නේපාලය සහ ඉතාලිය අතර අද (12) ක්‍රියාත්මක වූ තරගයෙන් ඉතාලිය කඩුලු 10ක ඉතා පහසු ජයක් ලබාගන්නා අතරේ, එම තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලාංකිකයකු වන ක්‍රිශාන් කලුගමගේ හට හිමි වුනා.

මේත් සමඟින් ම ක්‍රිශාන් පිළිබඳ විශේෂ කතිකාවක් ඇති වී තිබෙනවා.

ක්‍රිශාන් යනු වසර 18කට පෙර, එනම් 2007 වසරේ දී ශ්‍රී ලංකාවේ සිට ඉතාලිය බලා සංක්‍රමණය වූ ක්‍රීඩකයෙක්.

මෙතැන් පටන් ක්‍රිශාන්ගේ අතීත කතාව පිළිබඳ විමසා බලමු;

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත්ත වෙලාවේ දැනුණු හැඟීම විස්තර කරන්න මට වචන නැහැ.

අපි කිහිප දෙනෙක්  ඇඬුවා මොකද, ලෝක කුසලානයක් ක්‍රීඩා කරනවා කිය එක අපිට හීනයක් වගේ. මට ඒක තවත් හැඟිම්බරයි, මොකද තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ වීම නිසා. අපේ පළමු ලෝක කුසලාන තරගයේ දී ඉතාලි ජාතික ගීය වාදනය වෙද්දී මට විශාල ගෞරවයක් දැනුණ. මොකද මම හැම තිස්සේ  හිතුවේ මම අඳින කමිසයට මම ගරු කළ යුතුයි කියලා.

ක්‍රිශාන්ට නැවතත් සිය ජන්ම භූමිය ආසන්නයට හෝ (මූලික වටයේ ඉතාලිය ක්‍රීඩා කරන සියලු තරග ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.) පැමිණීමට හැකි වීම ඉතා හැඟිම්බර මොහොතක් වූ බව පවසන ක්‍රිශාන්, ඒ අයුරින් ම සිය වත්මන් දේශය වන ඉතාලියට ද ගෞරව දක්වන බව පැහැදිලියි.

මීගමුවෙන් ක්‍රිකට් ආභාෂය ලැබ ඉතාලියට සංක්‍රමණය වෙයි

ශ්‍රී ලංකාවේ මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව 2007 වසර තෙක් ක්‍රිශාන් දිවි ගෙවූ අතර, එහි දී ඔහු විසින් සිය පාසල වෙනුවෙන් වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ කණ්ඩායම් සඳහා ක්‍රිකට් ක්‍රීඩා කර තිබුණා. එමෙන්ම බොහෝ ශ්‍රී ලාංකේය දරු දැරියන් මෙන්ම, ක්‍රිශාන් ද දරුණු ක්‍රිකට් ලෝලියකුව සිටියත් පසුව ඔහුගේ දෙමාපියන් සහ ඔහු ශ්‍රී ලංකාවෙන් ඉතාලිය බලා නික්ම යන්නේ සිය ජීවිත නව ඉලක්ක කරා රැගෙන යාමේ අභිප්‍රායෙනුයි.

ඒ වන විට ක්‍රිශාන්ගේ වයස අවුරුදු 16ක් වූ අතර, ඉතාලියට පිවිසීමෙන් පසුවත් ඔහු සහ ක්‍රිකට් අතර තිබූ බැඳීම නිමා වන්නේ නැහැ. කෙසේ නමුත් ඉතාලිය තුළ ක්‍රිකට් ක්‍රීඩාව වෙත ඇති පිළිගැනීම මද කම නිසාම ඔහුට සිය පාසලේ දී මලල ක්‍රීඩාව වෙත යොමු වීමට සිදු වනවා.

කෙසේ වෙතත් 2015-16 තරග සමය තුළ ක්‍රිශාන් විසින් ඉතාලියේ වඩාත් ඓතිහාසික ක්‍රිකට් සමාජයක් වන Roma Cricket Club සමඟ ක්‍රීඩා කිරීමට එක් වීමත් සමඟ ක්‍රිශාන්ගේ ක්‍රීඩා ජීවිතය නව පණක් ලබනවා.

පා දඟ පන්දුව සහ වේග පන්දු අතර විචලනයක්

ක්‍රිශාන් මේ විට පා දඟ පන්දු යවන්නකු ලෙසයි ක්‍රීඩා කරන්නේ. එමෙන්ම සිය ක්‍රීඩා ජීවිතයේ මුල් කාලය තුළ ද ඔහු පා දඟ පන්දු යැවීමේ නිරත වුනත්, ඒ අතර මැද කාලයක ඔහු වේග පන්දු යවන්නකු ලෙස ද ක්‍රීඩා කරනවා. වේග පන්දු යවන්නකු ලෙස ඔහු ඉතාලි A කණ්ඩායම පවා නියෝජනය කිරීමට වරම් හිමි කර ගත් අතර, ඊට අමතරව ඔහු විසින් 2019 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණ Kandy Custom ක්‍රිකට් සමාජය (KCCC) වෙනුවෙන් ද වේග පන්දු යවන්නකු ලෙස ක්‍රීඩා කරනවා.

කෙසේ වෙතත් වේග පන්දු යවන්නකු ලෙස වරින් වර ආබාධවලට ලක් වීම නිසා ක්‍රිශාන් සිය ක්‍රීඩා දිවිය නැවත දඟ පන්දුව වෙත මාරු කිරීමට තීරණය කරනවා.

මෙහි දී ඉතාලි Roma ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ තවත් ශ්‍රී ලාංකිකයකු වන ප්‍රභාත් එක්නෑලිගොඩ විසින් ක්‍රිශාන්ට නැවතත් පා දඟ පන්දුව වෙත මාරු වීමට විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා. එය ඔහුට වඩාත් ගැළපෙන පන්දු යැවීමේ රටාව බවයි ප්‍රභාත් විශ්වාස කර තිබුණේ.

අරවින්ද, ජයසූරිය පසු කර වනිඳු දක්වා

ක්‍රිශාන් සිය ජීවිතයේ ක්‍රිකට් වීරයින් ලෙස පෙරමුණේ තබා සිටින්නේ අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරියයි. කෙසේ වෙතත් පා දඟ පන්දු යවන්නකු ලෙස ඔහු Shane Warne, Rashid Khan මෙන්ම ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ද සිය ප්‍රියතමයන් ලෙස සහ තමන්ට උත්තේජනයක් සැපයූ ක්‍රීඩකයින් ලෙස හඳුන්වා දෙනවා.

මෙවර ලෝක කුසලානය ආරම්භ වීමට පෙර ඔහු ශ්‍රී ලංකාවට පැමිණ පුහුණු වීම්වල නිරත වී තිබූ අතර, එහි දී ඔහුට වනිඳු මුණගැසීමට මෙන්ම වනිඳුගෙන් උපදෙස් පවා ලබා ගැනීමට හැකි වූ බවත් සඳහන් කරනවා.

එමෙන්ම ඔහුට මීට පෙර Rashid Kahn ද මුණ ගැසී ඇති අතර, එහි දී ගුග්ලි පන්දුව යොමු කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලැබූ බවයි ක්‍රිශාන් පවසන්නේ. මෙම මුණගැසීම මෑතක දී ඉතාලිය සහ අයර්ලන්තය අතර පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිය අතර තුර සිදුවූවක් වන අතර, එම තරගාවලියේ දී ඉතාලිය විසින් පළමු වරට අයර්ලන්තයට එරෙහිව විස්සයි විස්ස ජයක් ලැබීමට ද සමත් වුනා. එම තරගයේ දී ද ක්‍රිශාන් විසින් කඩුලු 3ක් දවා ගැනීම විශේෂත්වයක්.

රැකියාව සහ ක්‍රිකට්

කෙසේ වෙතත් ක්‍රිශාන් මේ වන විට ඉතාලි ජාතික කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයකු ලෙස රැඳුනත් තවමත් එය ඔහුගේ වෘත්තීය බවට පත් කර ගැනීමට තරම් අවකාශයක් හිමි වී නැහැ.

මට ඉතාලියේ දී ගොඩක් රැකියා ලැබුණා, හැබැයි  වගේම මට ක්‍රිකට් නිසා ගොඩක් රැකියා අත්හරින්නත් වුනා. මොකද ඔවුන් මට තරගාවලි ක්‍රීඩා කරන්න ඔවුන් නිවාඩු ලබා දෙන්නේ නැහැ.

ඔහු මේ වන විට ඉතාලියේ La Vita Pizzeria නම් පීසා අවන්හලේ රැකියාව සිදු කරන අතර, ඉ‍රිදා දිනය සිය පුහුණු වීම් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

තාමත් මගේ ප්‍රධාන රැකියාව මම කරන්නේ රෙස්ටුරන්ට් එකේ. ලෝක කුසලානයෙන් පස්සේ අපි බලමු මට කොහේ හරි ක්‍රීඩා කරන්න ලැබේවිද කියලා. අනාගතයේ දී අනිවාර්යයෙන් ක්‍රිකට් විතරයි.

දරුණු Inter Milan රසිකයෙක්

ඉතාලිය සිය ප්‍රධානතම ක්‍රීඩාව ලෙස සෑම විටම පාපන්දු පෙරටු කර ගන්නා බව නොරහසක්. පාපන්දු ලෝක ශූරයින් ලෙස පවා කිරුළු දරා ඇති ඉතාලිය තුළ ඕනෑම මාතෘකාවක් පාපන්දු වෙත හරවා ගැනීම අතිශය පහසු කටයුත්තක් වනු ඇති.

ක්‍රිශාන් ද පාපන්දු ක්‍රීඩාවට දැඩි ලෙස ඇලුම් කරන අතර, ඔහු දැඩි Inter Milan පාපන්දු සමාජයේ රසිකයකු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම Inter Milan සහ ආජන්ටිනා පාපන්දු ක්‍රීඩකයකු වන Lautaro Martinez ඔහුගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා ලෙසයි හඳුන්වා දෙන්නේ. එය මෙවර ලෝක කුසලානයේ දී ද පැහැදිලි වුනේ, ක්‍රිශාන් සිය කඩුලු දවා ගැනීමකින් අනතුරුව Lautaro Martinezගේ ගෝල සැමරීමක් අනුකරණය කළ අවස්ථාවෙදියි.

ක්‍රිශාන් දැන් ඉතාලිය වෙනුවෙන් ක්‍රීඩා කරන, ඉතාලිය තුළ වසර 18කට අධික කාලයක් සම්පූර්ණ කර ඇති පුද්ගලයෙක්. ඔහු මේ වන විට 34 වැනි වියේ පසු වන නමුත්, තවත් හැකි උපරිම කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමටයි බලාපොරොත්තු වන්නේ. එමෙන්ම තමන් පැමිණි බාධක පිරී ගිය මාවත තුළ කිසිදු බාධාවකින් තොරව, ඊළඟ පරම්පරාව කැඳවා ගෙන යාම ඔහුගේ අභිප්‍රාය වී තිබෙනවා.

ඒ වෙනුවෙන් මෙවර ලෝක කුසලානය තුළ ක්‍රිශාන් කලුගමගේ දක්වන දක්ෂතා විශේෂ රුකුලක් වනු ඇති.

ඔහුගේ එම සියලු බලාපොරොත්තු සඵල වේවා යන්න ThePapare ආදරණීය ප්‍රාර්ථනයයි!

2026 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<