තායිලන්තයට ගිය දුලානිගෙන් රන් පදක්කමක්

227

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20) පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත්වූ අතර ඒ අතරින් කඩුලු මතින් දිවීමේ ඉසව්වට සහභාගී වූ ශ්‍යාමා දුලානි රන් පදක්කමක් ජයග්‍රහණය කරන්නට සමත් වූවාය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර තරගාවලි ද්විත්වයකට

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් Asian Grand Prix හා ……….

2019 තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය 18 වැනිදා ආරම්භ වූ අතර මෙම තරගාවලිය පුරා දින 3ක් තායිලන්තයේ බැංකොක්හි National Stadium හිදී පැවැත්විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගකරුවන් 7 දෙනෙකු සහභාගී වූ අතර එයින් ක්‍රීඩකයන් 3 දෙනෙකු පදක්කම් දිනා ගැනීමට සමත් විය.  

කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වට සහභාගී වූ ශ්‍යාමා දුලානි මිනිත්තු 1.02.49ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. එම ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට පැපුවා නිව්ගීනියාව නියෝජනය කළ ක්‍රීඩිකාවක්  සමත් වූයේ මිනිත්තු 1.04.67ක කාලයක් වාර්තා කරමිනි. තෙවැනි ස්ථානය මිනිත්තු 1.12.25ක කාලයක් වාර්තා කළ තායිලන්ත ක්‍රීඩිකාවක් විසින් හිමිකර ගන්නා ලදි.

කාන්තා දුර පැනීමේ ඉසව්වට සහභාගී වූ සාරංගි සිල්වා සිය පුද්ගලික හොඳම දක්ෂතාව සමකරමින් මීටර් 6.12ක දස්කමක් දක්වමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එහි රන් පදක්කමට හිමිකම් කීවේ මීටර 6.23ක දුරක් වාර්තා කළ පිලිපීන ක්‍රීඩිකාවක් විසිනි. මීටර 6.18ක දුරක් වාර්තා කළ ඉන්දුනීසියානු ක්‍රීඩිකාවන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

අසංක රත්නසේන විසින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වට සහභාගී වෙමිනි. ඒ තත්පර 52.67ක කාලයකින් තරගය අවසන් කරමිනි. ඉසව්වේ රන් පදක්කම චීන තායිපේ ක්‍රීඩකයෙකු විසින් දිනා ගත් අතර රිදී පදක්කම ඉන්දුනීසියානු ක්‍රීඩකයෙකුට හිමි විය. ඔවුන්  වාර්තා කළ කාලයන් පිළිවෙළින් තත්පර 50.98ක් හා තත්පර 52.33කි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ ප්‍රියන්ත ලක්මාල්ට මීටර් 400 ඉසව්වේ 6 වැනි ස්ථානයෙන් සෑහිමට පත්වන්නට සිදු වූ අතර රිටි පැනීම ඉසව්ව නියෝජනය කරමින් තරග කළ ඉෂාර සඳරුවන්ට දිනා ගැනීමට හැකි වූයේ සිව්වැනි ස්ථානයයි. තරගාවලියේ අවසන් දිනය වන අද දිනයේ දී (21) ලක්ෂිකා සුගන්ධී හා ධම්මික රණතුංග, පිළිවෙළින් මීටර් 100 කඩුලු මතින් දිවීමේ හා මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වලට සහභාගී වීමට නියමිතයි.

තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<