T20 ලෝක කුසලානය රට වටා යන ගමන ආරම්භ වෙයි!

3
ICC Men's T20 World Cup 2026

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ ජයග්‍රාහකයින් වෙත පිරිනැමෙන කුසලානයේ රට වටා යන ගමන් සංචාරය ඩයලොග් ප්‍රධාන කාර්යාලයෙන් අද (23) ආරම්භ වුනා.

2026 ICC පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව ලහි ලහියේ සූදානම් වන අතරතුර, ක්‍රිකට් රසිකයින්ගේ උද්යෝගය වඩවන තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පන්දුවාර 20 ලෝක කුසලානය අද දින Dialog Axiata ප්‍රධාන කාර්යාලය වෙත ඉමහත් හරසරින් යුතුව රැගෙන ආවා.

මෙවර ලෝක කුසලානය ජය ගන්නා කණ්ඩායමට හිමි වන මෙම වටිනා කුසලානය සමගින් ක්‍රිකට් උණුසුම නගරයෙන් නගරයට රැගෙන යෑමට මේ වන විට සියල්ල සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC විසින් සංවිධානය කරන ලද මෙම ලෝක කුසලාන සංචාරය ආරම්භ කිරීම වෙනුවෙන් එම කුසලානය ඩයලොග් වෙත රැගෙන ආ අතර, මෙය ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ව ක්‍රීඩාලෝලීන්ට ඇති පොපියන උද්යෝගය තව තවත් වර්ධනය කිරීමට හේතුවක් වනු ඇති. එමෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටවීම උදෙසා ඩයලොග් සමාගම ලබා දෙන නිරන්තර දායකත්වය ද මෙමගින් මැනවින් පිළිබිඹු කෙරේ.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් යුතුව මෙවර ලෝක කුසලානය එළඹෙන පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

2007 වසරේ දී ප්‍රථම වරට ක්‍රියාත්මක වූ මෙම ලෝක කුසලාන තරගාවලිය ඉතාම කෙටිකාලයක් තුළ ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට පත් කරන සැණකෙළි ස්වරූපයක් ක්‍රීඩා පිටියට රැගෙන ඒමට සමත් වුනා.

එබඳු කුසලානයක් ඩයලොග් ආයතනය වෙත රැගෙන ඒමෙන්, දිවයින පුරාම මිලියන සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන් වෙත ක්‍රීඩාව තවදුරටත් සමීප කිරීමට ඩයලොග් සන්නාමය දරන ප්‍රයත්නය විදහා දැක්වේ.

ඉකුත් වසර ගණනාවක් පුරා සජීවී තරග විකාශන, ඩිජිටල් තාක්ෂණික වැඩසටහන්වල පටන් ක්‍රීඩා තරග සංවිධානය දක්වා ම දියත් කළ සුවිශේෂී කාර්යයන් ගණනාවක් ඔස්සේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ හද ගැස්ම හා සමපාත වෙමින්, ක්‍රිකට් ක්‍රීඩාව සමගින් ඔවුන් සමීප වන ආකාරය වෙනස් කිරීමට ඩයලොග් සමාගම කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කර ඇති බැවින්, මෙම ලෝක කුසලාන සවාරියට සම්බන්ධ වීමට ලැබීම ඩයලොග් ආයතනයට සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකි.

ඉදිරි වසර කිහිපය පුරා ICC තරග සඳහා බහු – වාර්ෂික ගිවිසුමක් යටතේ විකාශන අයිතිය හිමි කර ගෙන ඇති ඩයලොග් සමාගම, ICC පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ නිල විකාශන අයිතිය සතු සමාගමයි. ඒ අනුව, මෙම ICC පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ උද්යෝගිමත් ක්‍රීඩා අවස්ථා විඳ ගැනීමට පුල පුලා බලා සිටින ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට සජීවී තරග, උණුසුම් අවස්ථා සමගින් අපූරු ක්‍රිකට් විස්තර ප්‍රචාර ආදී ක්‍රීඩා අත්දැකීම් සියල්ලක් ම ගෙනෙන සුවිශේෂී ක්‍රීඩා අත්දැකීමකට Dialog Television සහ Dialog Play App හරහා දොරගුළු විවර වනු ඇත. මීට අමතරව, මෙම තරගාවලිය නොමිලේ විකාශනය සඳහා Supreme TV ද ඩයලොග් හා අත්වැල් බැඳ ගෙන සිටියි.

ඩයලොග් ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, මෙම කුසලානය රට වටා යන ගමනේ මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගර වලට සංචාරය කිරීමට නියමිතයි. මෙමගින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට කුසලානය සමීපව දැක බලා ගැනීමටත්, සමරු ඡායාරූප ලබා ගැනීමටත් අවස්ථාව උදා වනු ඇති.

එමෙන්ම මෙම තරගාවලිය ThePapare වෙබ් අඩවිය හරහා සජීවී ව දැක බලා ගැනීමේ අවස්ථාව ද ඔබට හිමි වනු ඇති.

එමෙන්ම මෙවර ලෝක කුසලානයට අදාළ සියලු උණුසුම් තරග තොරතුරු ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<