නිල් මහා සටනේ 139 වැනි දිග හැරුම මාර්තු මාසයේ

151

රාජකීය විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන ‘නිල් මහා’ සටන ශ්‍රී ලංකාවේ පාසල් මහා ක්‍රිකට් තරග මාලාවට ඉතාමත් සුවිශේෂී වේ. එහි 139 වැනි දිග හැරුම ලබන මාර්තු මස 8, 9 සහ 10 යන දිනවල එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන අතර ගරු. ඩී. එස්. සේනානායක අනුස්මරණ ශූරතාව වෙනුවෙන් මේ මහා සටන පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන රෝයල්- තෝමියන්සටන ලොව පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරග අතුරෙන් දෙවන වැඩිම ඉතිහාසයක් ඇති ක්‍රිකට් තරගාවලියයි. එය වසර  139ක් පුරා විහිදුණු වර්ණවත් ඉතිහාසයකට හිමිකම් කියයි. ලෝකයේ වැඩිම තරග ඉතිහාසයකට හිමිකම් කියන පාසල් ක්‍රිකට් තරගය වන්නේ ඇඩිලේඩ් හි සාන්ත පීතර විද්‍යාලය සහ ඇඩිලේඩ් හි ඇල්ෆ්‍රඩ් විද්‍යාලය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයයි.

තර්ස්ටන්-ඉසිපතන සහෝදරයින්ගේ ගැටුමට සියල්ල සූදානමින්

මෙම වසරේ පාසල් මහා ක්‍රිකට් තරග සමය එළඹෙන 23 වන දින SSC ක්‍රීඩාංගණයේ දී…

139 වන නිල් මහා සටනේ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව ඊයේ (20) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. රාජකීය විද්‍යාලයේ විදුහල්පති වන බී. ඒ. අබේරත්න මහතා හා සාන්ත තෝමස් විද්‍යාලයේ මාර්ක් බිලිමෝරියා පියතුමන් මෙන්ම Dialog ආසිආටා පි. එල්. සී. සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරි අමලි නානායක්කාර මහත්මිය සහ අනෙකුත් අනුග්‍රාහකයින්, පාසල් දෙකේ ක්‍රීඩකයින්, ශිෂ්‍ය නායකයින් හා පාසල් දෙකේම ගුරුවරුන් මෙන්ම මාධ්‍යවේදීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියේය.

මේ වන විට පාසල් දෙක අතර පැවැත්වූ තරග අතුරෙන් තරග 35ක් ජය ගැනීමට රාජකීය විද්‍යාලය සමත්ව ඇති අතර සාන්ත තෝමස් විද්‍යාලය තරග 34ක් ජයග්‍රහණය කර ඇත. මේ තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් අවම ලකුණු ප්‍රමාණය සනිටුහන්ව ඇත්තේ 1885 දී රාජකීය විද්‍යාල පළමු ඉනිම ලකුණු 09කට දැවී යාමයි. දෙවැනි දිනයට තරගය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසාවෙනි. අවසානයේ එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

මෙවර රාජකීය විද්‍යාල කණ්ඩායමේ නායකත්වය දරන්නේ මුල්පෙළ පිතිකරුවෙක් වන පසිඳු සූරියබණ්ඩාර විසින් වන අතර තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ඩෙලෝන් පිරිස් සාන්ත තෝමස් විද්‍යාලයේ නායකත්වය දරයි. මේ තරග ඉතිහාසයේ රාජකීය විද්‍යාලය අවසන් වරට තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 2016 වර්ෂයේ දී වන අතර සාන්ත තෝමස් විද්‍යාලය අවසන් වරට තරගයක් දිනාගෙන ඇත්තේ 2007 වර්ෂයේ දීය.

මේ ඉතිහාස ගත ක්‍රිකට් තරගාවලියට මෙවරත් අනුග්‍රාහකත්වය දරන්නේ Dialog ආසිආටා පි. එල්. සී. ආයතනයයි. එය 2015 වර්ෂයේ සිට නොකඩවා අනුග්‍රාහකත්වය දක්වා ඇත්තේ Dialog ආසිආටා ආයතනයයි.

“පසුගිය වසර 138 පුරා අපගේ පාසල් දෙක අතර අතිවිශිෂ්ට සහෝදරත්වයක් බෙදාගෙන තිබෙනවා. මෙම මහා තරගය එක් සිදුවීමක් වන අතර, සියලුම රාජකීයයන් සහ සාන්ත තොමස්වරුන්ට එය මඟ හැරීමට නොහැකිය ” යැයි රාජකීය-තෝමස් තරග සංවිධායක කමිටුවේ සම-සභාපති අශාන් ද සිල්වා මහතා පැවසීය.

තෙවන විනිසුරු තාක්ෂණය මෙවරත් භාවිතා කරන අතර තරගය පුරාවටම සියලු දුවද්දී දැවී යාම් අවස්ථාවන් පවා (Stumpings, Run-Outs) තෙවන විනිසුරු තාක්ෂණයේ උපකාරීත්වය මත සිදු කරයි.

139 වන වරටත් පැවැත්වෙන නිල් මහා සටන සහ 43 වන එක්දින තරගය යන තරග දෙකම ඩයලොග් රූපවාහිනී නාලිකා අංක 1 ඔස්සේ විකාශය කරනු ඇත. www.ThePapare.com ඒ සඳහා අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර ඇති අතර My TV හරහා ද තරග සියල්ලම නැරඹීමට හැකිය. එසේම තරග වාර්තා, ඡායාරූප ඇතුළු සියලුම විස්තර ඔබ වෙතට ගෙන ඒමට අප සුදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<