86 වැනි සාන්තුවරුන්ගේ සටනට කණ්ඩායම් දෙකේම අවි සූදානම්

94

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 86 වැනි වරටත් පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මාර්තු මස 6 සහ 7 දෙදින කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිත ය.

මෙවර තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් සහ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන අශේන් ඩැනියෙල් විසින් මෙහෙයවනු ලබන අතර කඩුලු රකින පිතිකරුවෙක් වන ෂැනොන් ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලැබේ.

Live – St. Joseph’s College vs St. Peter’s College – 86th Battle of the Saints

The 86th Battle of the Saints cricket …..

සාන්තුවරයන්ගේ තරග ඉතිහාසය

ගරු මෞරිස් ලේ ගොක් පියතුමන් (Rev. Fr. Maurice Le Goc) අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසයේ මෙතෙක් පැවති තරග අතරින් අවස්ථා 12ක දී සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ ජයග්‍රහණය කර ඇති අතර සාන්ත පීතර ක්‍රීඩකයෝ ජයග්‍රහණය කර ඇත්තේ අවස්ථා 10ක දී පමණි. ඉතිරි තරග 63 ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.

තරග ඉතිහාසයේ අවසන් වරට තරගයක ජයග්‍රහණයක් වාර්තා වී ඇත්තේ 2016 වසරේ දී ය. ඒ විනූ මොහොට්ටිගේ නායකත්වයෙන් යුත් සාන්ත පීතර විද්‍යාලය ය. සාන්ත ජෝසප්වරුන් අවසන් වරට සාන්තුවරයන්ගේ සටනක් ජය ගෙන ඇත්තේ 2008 වසරේ දී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වය යටතේ ය.

1933 දී ආරම්භ වූ සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසයේ ආරම්භක නායකයන් වූයේ සාන්ත ජෝසප් විදුහල වෙනුවෙන් රොබට් ප්‍රනාන්දු ද, සාන්ත පීතර විදුහල වෙනුවෙන් ජෝර්ජ් ජයවීර ද වෙති. එම තරගයේ ජයග්‍රහණය සාන්ත ජෝසප්වරුන් සතු වන අතර සාන්ත පීතරයන් පළමු වරට සාන්තුවරයන්ගේ සටනක් ජය ගන්නේ 1946 වසරේ දී ය. ඒ ඩයන් වොලස් යටතේ ය.

සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 1982 වසරේ කෙන් සර්පන්සිගේ නායකත්වයෙන් යුත් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 382යි. සාන්ත පීතරයන් ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 1938 වසරේ දී පර්සි පෙරේරාගේ නායකත්වයෙන් යුතුව කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 345යි.

කණ්ඩායමක් ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් ව ඇත්තේ 1972 වසරේ දී රෝයි ඩයස්ගේ නායකත්වයෙන් යුත් සාන්ත පීතරයන් දැවී ගිය ලකුණු 36යි. සාන්ත ජෝසප්වරුන් 1938 දී එඩ්වඩ් මාර්කස්ගේ නායකත්වය යටතේ ලකුණු 56කට දැවී යමින් එකී වාර්තාවේ ඔවුන්ගේ නම සටහන්ව ඇත.  

සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසය වර්ණවත් කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සාන්ත ජෝසප්වරුන් ලෙසින් ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොට්, රොෂේන් සිල්වා සහ සධීර සමරවික්‍රම ද, සාන්ත පීතරයින් වෙනුවෙන් රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, රසල් ආනල්ඩ්, විනෝදන් ජෝන්, කෞෂාල් ලොකුආරච්චි සහ මලින්ද වර්ණපුර ද වෙති.

සාන්ත පීතර විද්‍යාලය

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩකයින් මෙවර තරග වාරය තුල තරග 14කට සහභාගී වෙමින් පූර්ණ තරග ජයග්‍රහණ දෙකක් සමඟින් තරගාවලිය අවසන් කළ නමුත් දෙදින තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව ලැබුණේ නැත. එක්දින තරගාවලියේ ද සුපිරි 32 වටයෙන් ඉවතට යමින් සාන්ත පීතර විද්‍යාලය මෙවර සාන්තුවරයන්ගේ සටනට මුහුණ දීමට සූදානම් වෙති. 

මැදපෙළ පිතිකරුවෙක් වන නිපුනක ෆොන්සේකා මෙවර තරග වාරය තුල දී සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වන අතර නොදැවී ලබා ගත් ශතකයක් ද සමඟින් ලකුණු 528ක් ලබා ගැනීමට ෆොන්සේකා හට අවස්ථාව ලැබුණි. ඊට අමතරව වනුජ කුමාර, රිශික දවටගේ ලකුණු 400 සීමාව ඉක්මවා ලකුණු වාර්තා කරගෙන ඇත.

පන්දු යැවීමේ දී කඩුලු 50කට වැඩියෙන් දවාගෙන ඇති කණිෂ්ක මධුවන්ත සහ රුවින් සෙනෙවිරත්න ද සාන්ත පීතරයින් වෙනුවෙන් දක්ෂතා දැක්වීමට සූදානමින් සිටී. විනුද ලියනගේ ද පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමේ හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයකි.

මහා තරගයට අපේක්ෂිත සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම – ෂැනොන් ප්‍රනාන්දු (නායක) නිපුනක ෆොන්සේකා, ශෙනාල් බොතේජු, රිෂික දවටගේ, කණිෂ්ක මධුවන්ත, රුවින් සෙනෙවිරත්න, ලහිරු දවටගේ, වනුජ කුමාර, විනුද ලියනගේ, දනාල් හේමනන්ද, ට්‍රිශේන් වික්‍රමසිංහ

සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත ජෝසප්වරුන් ගෙවී ගිය තරග වසරේ දී තරග 17කට සහභාගී වී ඉන් තරග 8ක් ජයග්‍රහණය කරමින් තරග 9ක් විසඳුමකින් තොරව අවසන් කරගෙන තිබේ.

ගාල්ල මහින්ද විද්‍යාලය, සාන්ත අන්තෝනි, ඉසිපතන, වෙස්ලි, සාන්ත ඇලෝසියස්, ද මැසනොඩ්, සාන්ත පැට්‍රික් සහ ආනන්ද විද්‍යාලයට එරෙහිව ඔවුන් ජයග්‍රහණ ලබා ඇත. එමෙන්ම මෙවර තරගාවලිය තුල ඔවුන් කිසිදු තරගයක් පරාජයට පත්ව නොතිබීම සුවිශේෂී වේ.

කණ්ඩායමේ වඩාත්ම විශ්වාසය තබා සිටින පිතිකරුවන් රැසක් සිටින අතර එහි ඉදිරියෙන්ම සිටින්නේ කඩුලු රකින පිතිකරුවෙක් වන ශෙරන් ෆොන්සේකා වේ. ඔහු මෙවර තරග වාරය තුල ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය පිතිකරුවන් කිහිපදෙනා අතර ද සිටින පිතිකරුවෙකි. ඊට අමතරව ජොහෑන් ද සිල්වා, දිනෙත් ජයකොඩි ලකුණු ලබා ගැනීම අතරින් ඉදිරියෙන් සිටින අනෙක් පිතිකරුවන් වේ.

කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත පන්දු යවන්නා වී ඇත්තේ වමතින් දඟපන්දු යවන මිරංග වික්‍රමගේ වන අතර ඔහු පිතිකරණයෙන් දක්වා ඇති දස්කම්වලට අමතරව පන්දු යැවීමෙන් කඩුලු 56ක් ද දවාගෙන ඇත. 

ඊට අමතරව වමතින් දඟපන්දු යවන ක්‍රීඩක සාලින්ද සෙනෙවිරත්න කඩුලු 51ක් දවාගන්නා විට ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නියෝජනය කළ ක්‍රීඩක අශේන් ඩැනියල් සහ දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂාන් ගමගේ ද ඔවුන්ගේ පන්දු යවන්නන් වන නමුත් පිතිකරුවන් ලෙස ද යම් පෙරළියක් කිරීමට හැකි ක්‍රීඩකයින් වේ.

ඔහු කඩුලු 76ක් ලබා සිටී. ඊට අමතරව මිරන්ග වික්‍රමගේ (28) සහ අශේන් ඩැනියෙල් (24) ද අවශ්‍ය අවස්ථාවක දී දක්ෂතා දැක්වීමට බලා සිටී.

මහා තරගයට අපේක්ෂිත සාන්ත ජෝසප් කණ්ඩායම – ජොහෑන් ද සිල්වා (නායක), ශෙරන් ෆොන්සේකා, ශෙවෝන් ඩැනියල්, දිනෙත් ජයකොඩි, දුනිත් වෙල්ලාලගේ, ලක්ෂාන් ගමගේ, සදීෂ ජයවර්ධන, මිරංග වික්‍රමගේ, මිථිර තේනුර, අශේන් ඩැනියල්, ශාලින්ද සෙනෙවිරත්න 

දෙවිදුහල් අතර පැවැත්වෙන “ගරු පීටර් ඒ. පිල්ලෙයි පියතුමන්ගේ කුසලානය” වෙනුවෙන් වන වාර්ෂික එක්දින තරගය මෙවර පැවැත්වෙන්නේ 46 වැනි වරට ය. එම තරගය මාර්තු මස 22 වැනි දින කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.

දෙදින තරගයේ මෙන්ම එක්දින තරගයේ ද තරග වාර්තා, ඡායාරූප ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටින අතර තරගයේ සෑම මොහොතක්ම සජීව ලෙස ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<