තම ජීවන දිවියේ 36 වැනි උපන් දිනය එළිපත්තේ සිටින දකුණතින් පිට දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නිමා වූ ටෙස්ට් තරගයේ දී තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමක සහ තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කළා. වයසට තරමින් නොවන මේ පන්දු යැවීම තරගයේ වීරයා වූ දිමුත් කරුණාරත්නගේ ඉනිම සේ ම ජයග්‍රහණයට වැදගත් වුනා. මේ ඒ සම්බන්ධයෙන් ThePapare.com තබන සටහනකි.
ජයග්‍රහණයකින් කෙළවර වූ මිනිත්තු 93ක ක්‍රිකට් උන්මාදය
ලොව භයානකම පිතිකරණ ලැයිස්තුවක්, කලාලය (mat) මත ක්‍රීඩා කර අභිනවයෙන් දඟ කැවෙන තණතිල්ලක ක්‍රීඩා කළ තෙවන කාණ්ඩයේ කණ්ඩායමක් මෙන් දැවී යන්නේ කලාතුරකිනි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ගාල්ලේ දී අවසන් වූ ටෙස්ට් ක්‍රිකට් තරගය ලෝක ඉතිහාසයට එක්වූ 2311 වැනි ටෙස්ට් තරගයයි. එය ටෙස්ට් ක්‍රිකට් ලෝක ශ්‍රේණිගත කිරීම අනුව පිළිවෙළින් හය වැනි සහ දෙවැනි තැන සිටි කණ්ඩායම් අතර තරගයක්. තරගයේ විසඳුම හය වැනි තැන සිටි ශ්‍රී ලංකාවට ලකුණු 278ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වීමයි.

ඩිවිලියර්ස්ගේ කට කැඩිච්ච කතාවට පන්දුවෙනුත් පිත්තෙනුත් පිළිතුරු දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සම්පූර්ණ දින දෙකක නිවාඩුවක් ද සංචාරක ක්‍රීඩකයන්ට ලබා දුන්නා. ඒ විතරක් නෙවේ ඩිවිලියර්ස් නිසා ලැජ්ජාවට පත් වෙන්න දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩියු ප්ලේසිස්ටත් සිදු වුනා.
“ඩිවිලියර්ස්ගේ කතාව මම දැන ගෙන හිටියේ නැහැ. අපි ලංකාවට ආවේ මෙහේ තත්ත්වය ගැන ඉතාම හොඳ අවබෝධයකින්. ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සමඟ තරගයක් ජයග්‍රහණය කරා යනවා කියන එක හරි අමාරු දෙයක්. විශේෂයෙන්ම ඔවුන්ගේ රටේ දී ඔවුන්ට මුහුණ දීමට තරම් පරිණත බවක් හෝ සුදුසු තත්ත්වයක අප සිටියේ නැහැ. දෙවැනි තරගයේ අපිට අපි ක්‍රීඩා කළ තරග රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනවා.” වත්මන් නායකයා ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් ගැන සහතිකයක් දුන්නේ ඒ ආකාරයෙන්. ඒ තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී.
තරගයේ වඩාත් ආක්‍රමණශීලී දඟපන්දු යවන්නා වුණේ දිල්රුවන් පෙරේරා. ඔහු මෙම තරගයේ දී ලකුණු 78කට කඩුලු 10ක් ලබා ගන්නවා. රංගන හේරත්ට හිමි වූ කඩුලු සංඛ්‍යාව 5ක්, ලක්ෂාන් සඳකැන්ට හිමි වූ කඩුලු සංඛ්‍යාව 2ක්. දැවී ගිය කඩුලු 20න් කඩුලු 17ක් ම දඟපන්දු යවන්නන්ට. ඉතිං දකුණු අප්‍රිකානු නායකයාගේ ප්‍රකාශය හරියටම හරි.
“රංගන හේරත් කියන්නේ ලෝකයේ සිටින දක්ෂතම දඟපන්දු යවන්නන්ගෙන් කෙනෙක්. දිල්රුවන් පෙරේරා ද ඒ මට්ටමේ සිටිනවා. ලෝකේ සිටින දක්ෂතම දඟපන්දු යවන්නන් දෙදෙනා අපත් සමඟ.” ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පවසන්නේ කුමන කණ්ඩායමක් පැමිණිය ද, ඉතිං කුමන බයක් ද යන්න විය නොහැකි ද?
“රංගන අයිය එක් අන්තයකින් පන්දු යවද්දි අපිට කඩුලු ලබා ගන්න ලේසියි. ඔහු පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරනවා. ඒක අපට විශාල පහසුවක්.” සියල්ලන් කියන දේවලට දිල්රුවන් දක්වන්නේ එවන් අදහසක්.

දිල්රුවන් එදා කැන්ගරුවන්ට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේ දී පෑ සුවිශේෂී දක්ෂතා නිසා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. නමුත් මෙදා ඔහුට තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවක් තිබුණේ නැහැ. එහෙත් බොහෝ ප්‍රේක්ෂකයන්ගේ නිහඬ වීරයා වුණේ දිල්රුවන්.
දිල්රුවන් මේ දක්ෂතාත් සමඟින් දෙවැනි ටෙස්ට් තරගයට මුහුණ දෙන්නේ සුවිශේෂී කඩඉමක් ආසන්නයේ සිටිමින්. ඒ ටෙස්ට් කඩුලු 100ක් සහ ලකුණු 1000ක් ලබා ගත් සාමාජිකයන්ගේ කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගැනීමේ දුලබ අවස්ථාව උදාකර ගැනීමයි.
ඔහු මේ වන විට ටෙස්ට් ලකුණු 975ක් ලබා සිටිනවා. ඒ කියන්නේ ලකුණු 1000කට ලකුණු 25ක් අඩුවෙන්. එළඹෙන තරගයේ දී දිල්රුවන්ට මේ කඩඉම පසු කරන්නට ලැබුණොත් ලකුණු දහසක් සහ කඩුලු සියයක් ලබා ගත් සිව්වැනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වෙනවා.
මේ වෙද්දී එම කඩඉම පසු කර සිටින්නන් අතර පෙරමුණේ ඉන්නේ මුත්තයියා මුරලිදරන්. ඔහු ලකුණු 1261ක් සහ කඩුලු 800ක් ලබා එම ස්ථානයේ පසු වෙනවා. ඊට පසුව සිටින්නේ රංගන හේරත්. ඔහු ලකුණු 1645ක් ලබා ගනිමින් කඩුලු 423ක් ලබා සිටිනවා. ඊටත් පසුව චමින්ද වාස්. වාස්ගේ දක්ෂතාව ලකුණු 3089ක් සහ කඩුලු 355ක්.
දිල්රුවන් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඔහුගේ දක්ෂතා අපට පෙන්වනවා. නමුත් මේ තුන් ඉරියව් ක්‍රීඩකයාගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන්නේ ප්‍රමාද වෙලා. දිල්රුවන්ට මංගල ටෙස්ට් වරම් ලැබෙන්නේ ඔහුට අවුරුදු 32ක් වෙද්දි. ඒ වන විට ඔහු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ආක්‍රමණය කරල අවුරුදු 7ක්. ඒකත් ඉතිං යලට-මහට හම්බ වුන තරග ටිකක් තමයි.
ශ්‍රී ලංකා දඟපන්දුව ද. අප්‍රිකානු කොඳු නාරටිය සිඳලයි; වීරයා දිමුත්
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් තවත් සම්පූර්ණ දින දෙකක් ඉතිරිව තිබිය දී ජයග්‍රහණය කිරීමට සත්කාරක…
දිල්රුවන් තමන් දක්ෂයෙක් බැව් ඇඟවූයේ තමන්ට ලැබුණ පළමු වැනි ටෙස්ට් තරගයේ දීමයි. ඒ 2014 ජනවාරියේ සාජා හි සංචාරයක නිරත වෙමින් පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් හිමි කර ගනිමින්. පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමේ ස්ථානයක් හිමි වූවත් ඔහු එම තරගයේ දී දක්ෂතා දක්වන්නේ පිතිකරුවෙක් ලෙසින්. අංක 8 පිතිකරු ලෙසින් පිටියට පිවිසෙන දිල්රුවන් තමන්ගේ මංගල ඉනිම අවසන් කරන්නේ ලකුණු 95ක් ලබා ගනිමින්. ඔහුගේ ඉනිම පන්දු 247කින් සමන්විත වන අතර හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුලත් වෙනවා. අනෙක් අතට ඔහුගේ එම ලකුණු සංඛ්‍යාව එම තරගයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවත් වෙනවා. එදා ක්‍රීඩා කළ එම ඉනිම තමයි තවමත් දිල්රුවන්ගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම වෙන්නේත්.
ඒ වගේම දිල්රුවන් ඉදිරියේ තවත් බොහෝ වාර්තා ලියැවිලා තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතාම ඉක්මනින් ටෙස්ට් කඩුලු 50ක් සහ ටෙස්ට් කඩුලු 100ක් ලබා ගත් පන්දු යවන්නා වෙන්නේ දිල්රුවන්. දිල්රුවන්ට කඩුලු 50ක් ලබා ගැනීමට වැය වන්නේ ටෙස්ට් තරග 11ක් පමණයි. ටෙස්ට් කඩුලු 100ක් වෙනුවෙන් ටෙස්ට් තරග 25ක්.
එමෙන්ම තරගයක දී ටෙස්ට් කඩුලු 10ක් සහ එම තරගයේ ඉනිමක දී අර්ධ ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වෙන්නේත් දිල්රුවන්. ඒ වගේම දිවා/රාත්‍රී ටෙස්ට් තරගය දී ඉනිමක කඩුලු 5ක් දවා ගත් පළමු පන්දු යවන්නා වෙන්තේත් දිල්රුවන්.
දිල්රුවන් කියන්නේ හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. තරගයක දී පන්දු යවමින් යමක් කරන්න බැරි වුනොත් පිත්තෙන් දක්ෂතා දක්වමින් ඔහු කණ්ඩායමට සේවය කරන්නෙක් බැව් ඔහුගේ පෙර තරග දක්ෂතා පෙන්නුම් කරනවා. මේ දක්ෂතා නිසාම දිල්රුවන් 2016-17 ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ දී දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත් වෙනවා.
දුස්රා එක දැම්මොත් ක්‍රිකට් ගහන්න වෙන්නේ නෑ – ඩිල්රුවන් පෙරේරා
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරගයේ දෙවැනි දිනය (13) අවසානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින් ඩිල්රුවන් පෙරේරා…
වයස අනුව කණ්ඩායමේ පරිණත ක්‍රීඩකයෙක් ලෙසින් දිල්රුවන් නම් කළ ද සැබැවින් ඔහුට එම අවස්ථාව උදා වෙන්නේ නැහැ. ඒ තවමත් ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිස මේ ගත කරන්නේ සිව්වැනි වසර නිසයි. ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාවත් 30ක්. හැබැයි ඉතිං දිල්රුවන් පළමු පෙළ තරග 200කට වැඩියෙන් ක්‍රීඩා කර තිබෙනවා. ලැයිස්තු ගත වෙන ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව 500කට ආසන්නයි. ලබා ඇති කඩුලු සංඛ්‍යාව දහසකට වැඩියි. ලකුණු දස දහසකට වැඩියි. ඒ නිසා එම හැදින්වීමේ වරදකුත් නැහැ කියලයි හිතෙන්නේ.
දිල්රුවන්ට වයස අවුරුදු 36 ලබන්නේ මේ ජූලි මාසේ 22 වැනිදා. එදාට ඔහු එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරනවා.
ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා රැසකටම හිමිකම් කියමින් තවත් වැදගත් කඩඉමක් වන ලකුණු දහසේ සීමාවට ළඟා වී සිටින දිල්රුවන්ට එම කඩඉම පසු කිරීමට සේ ම ටෙස්ට් පිටියේ තව තවත් දක්ෂතා දක්වන්නට හැකි වේවායි ThePapare.com අප සුබ පතනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















