2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි!

Commonwealth Games 2026

2
Commonwealth Games

2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඊයේ (23) රාත්‍රියේ දී උත්කර්ෂවත් අයුරින් ආරම්භ වුනා.

මෙවර ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු ක්‍රීඩා ඉසව් 07ක් සඳහා ඉදිරිපත් වීමට නියමිත අතර, ඔවුන් සහභාගී වීමට නියමිත තරග අද (24) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙල ජුලි 23 සිට අගෝස්තු මස 02 දින දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ සහ ඔවුන්ගේ තරග පැවැත්වෙන දින පිළිබඳ පහතින් දැක්වෙනවා.

Para Athletics

පැරා මලල ක්‍රීඩා තරග එළඹෙන 27 දින සිට ආරම්භ වීමට නියමිත අතර, මෙම තරග ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනනි ධනංජනා කාන්තා T45 – T47 මීටර් 100 ඉසව්වට සහ පාලිත බණ්ඩාර පිරිමි F 42-44/ F61-64 ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වීමට නියමිතයි.

මේ අතරින් පාලිත බණ්ඩාර 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් මෙන්ම, 2022 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමක් ද ජය ගැනීමට සමත් වුනා.

එමෙන්ම ජනනි විසින් 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී සහ 2025 ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම් ජය ගැනීමට ද සමත් වුනා.

පැරා මලල ක්‍රීඩා තරග එළඹෙන 27 (සඳුදා) සිට ආරම්භ වීමට නියමිතයි.

බර ඉසිලීම

බර ඉසිලීම ඉසව්ව නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 05 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.

  • සුපුන් දිල්හාර – පිරිමි 60Kg බර පන්තිය
  • සඳූ දුත්ශාන් – පිරිමි 65Kg බර පන්තිය
  • ඉන්දික චතුරංග – පිරිමි 71Kg බර පන්තිය
  • උපමාලිකා රවිහාරි – කාන්තා 48Kg බර පන්තිය
  • චතුරිකා ප්‍රියන්ති – කාන්තා 86Kg බර පන්තිය

බර ඉසිලීමේ තරග එළඹෙන 26 (ඉරිදා) සිට ආරම්හ වීමට නියමිතයි.

රිද්මයානුකූල ජිම්නාස්ටික්

මෙම ක්‍රීඩා ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නුයාරා නිසිඳි ප්‍රනාන්දු සහ ටියානා සුමනසේකර කාන්තා All – Around තරග අංශයට සහභාගී වීමට නියමිතව සිටි නමුත්, නවතම වාර්තා අනුව ටියානා සුමනසේකර හට ඇති වී ඇති උරහිසේ ආබාධ තත්වයක් නිසා සිය ඉසව්ව සම්පූර්ණ කිරීමට අවස්ථාව හිමි නොවනු ඇති.

කෙසේ වෙතත් ඇය Balance Beam තරග වටය පමණක් නියෝජනය කිරීමට ඉඩකඩ පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර නදිල නෙත්විරු පිරිමි All-Around තරග වටයට නියෝජනය කිරීමට නියමිතයි.

තරගාවලියේ රිද්මයානුකූල ජිම්නාස්ටික් තරග ඉසව් අද (24) සිට ආරම්භ වීමට නියමිතයි.

බොක්සිං

බොක්සිං තරග ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනකු සහභාගී වීමට නියමිතයි.

කාන්තා Flyweight 51Kg බර පන්තිය නියෝජනය කරන නදීකා පුශ්පකුමාරි සහ කාන්තා Flyweight 57Kg බර පන්තිය නියෝජනය කරන කෙශානි හංසිකා ක්‍රීඩිකාවන් ලෙස තරගාවලියට සහභාගී වන අතර, ක්‍රීඩකයින් ලෙස පිරිමි Bantamweight 55Kg බර පන්තිය නියෝජනය කරන රුක්මල් ප්‍රසන්න, පිරිමි Lightweight 60Kg බර පන්තිය නියෝජනය කරන රවිඳු ජයනාත්, පිරිමි Light – Heavyweight 80Kg බර පන්තිය නියෝජනය කරන සිතිජ ප්‍රතාප් සහ පිරිමි Welterweight 65Kg බර පන්තිය නියෝජනය කරන චමිල් පත්මසිරි මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.

බොක්සිං තරග ද අද (24) දිනයේ සිට ආරම්භ වීමට නියමිතයි.

පිහිනුම්

පිහිනුම් ඉසව්ව නියෝජනය කිරීමට කයිල් අබේසිංහ සූදානමින් සිටි නමුත් අසනීප තත්වයක් හේතුවෙන් ඔහුට මෙවර ක්‍රීඩා උළෙල අහිමි වී යනවා. ඔහු වෙනුවට M.F.මුහම්මද් පිරිමි මීටර් 100 සමනල ආර ඉසව්ව නියෝජනය කිරීමට නියමිත අතර, යලින්දි මිනාගි විසි  කාන්තා මීටර් 200 පසුපස ආර, මීටර් 100 පසුපස ආර සහ මීටර් 100 නිදහස් ආර ක්‍රීඩා ඉසව් නියෝජනය කිරීමට සූදානමින් සිටිනවා.

පිහිනුම් තරග ඉසව් ද අද දිනයේ සිට ආරම්භ වීමට නියමිතයි.

ජූඩෝ

ජූඩෝ ඉසව්ව නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙනෙකු තරග බිමට පිවිසීමට නියමිත අතර, පිරිමි 73Kg බර පන්තිය යටතේ චාමර නුවන් ධර්මවර්ධන සහ පිරිමි 60Kg බර පන්තිය නියෝජනය කරමින් විමුක්ති ප්‍රියංකර ප්‍රේමරත්න තරග බිමට අවතීර්ණ වීමට නියමිතයි.

ජූඩෝ තරග එළඹෙන 31 වැනි දා සිට ආරම්භ වීමට නියමිතයි.

මලල ක්‍රීඩා

මෙවර ක්‍රීඩා උළෙලේ වැඩිම ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වන ක්‍රීඩා ඉසව්ව ලෙස මලල ක්‍රීඩා ඉසව් හඳුන්වා දිය හැකි අතර, මේ වෙනුවෙන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 20 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.

මේ අතරින් ශ්‍රී ලංකාවට ඇති විශාලතම පදක්කම් බලාපොරොත්තුව ලෙස රුමේෂ් තරංග හඳුන්වා දිය හැකි අතර, ඊට අමතරව කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, නදීශා ලේකම්ගේ වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂයෙන් කැපී පෙනෙන දක්ෂතා අතරට පිවිසෙනු ඇතැයි අනුමාන කළ හැකි.

  • රුමේෂ් තරංග – පිරිමි හෙල්ල විසි කිරීම
  • කාලිංග කුමාරගේ – පිරිමි මීටර් 400 සහ 4×400
  • කල්හාර ඉඳූප – පිරිමි මීටර් 400 සහ 4×400 (කල්හාර ද ආබාධ තත්වයක් නිසා ක්‍රීඩා උළෙල නියෝජනය නොකරන බව පසුව දැනුම් දී තිබුණා.)
  • අයෝමාල් අකලංක – පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම
  • අරුණ දර්ශන – පිරිමි මීටර් 200 සහ 4×400
  • සුමේධ රණසිංහ – පිරිමි හෙල්ල විසි කිරීම
  • තරිඳු දසුන් – පිරිමි උස පැනීම
  • මලිත් තමෙල් – පිරිමි මීටර් 200
  • රොශාන් ධම්මික – පිරිමි මීටර් 110 කඩුලු පැන දිවීම
  • දිනෙත් ඉඳුවර – පිරිමි මීටර් 100
  • අරුන්තවාසර පුවිතරන් – පිරිමි රිටි පැනීම
  • අසිත තරංග – පිරිමි මීටර් 400 කඩුලු පැන දිවීම
  • හර්ෂ කරුණාරත්න – පිරිමි මීටර් 800
  • යෙශාන් විස්මිත – පිරිමි තුන් පිම්ම
  • චමෝද් යෝධසිංහ – පිරිමි මීටර් 100
  • නදීශා ලේකම්ගේ – කාන්තා හෙල්ල විසි කිරීම
  • ජිත්මා විජේතුංග – මිශ්‍ර 4×400
  • සයුරි ලක්ෂිමා – මිශ්‍ර 4×400
  • අරලියා සත්‍සරණි – මිශ්‍ර 4×400
  • මදුශානි හේරත් – කාන්තා තුන් පිම්ම සහ දුර පැනීම

ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග එළඹෙන සඳුදා (27) සිට ආරම්භ වීමට නියමිතයි.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා  පිවිසෙන්න <<