පාකිස්තානය අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය උදුරා ගනියි

481

ඉතාමත් උණුසුම් අයුරින් ක්‍රියාත්මක වූ තියුණු සටනකින් අනතුරුව දෙවැනි විස්සයි විස්ස තරගයේත් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට අද (28) පාකිස්තානු කණ්ඩායමට හැකි විය.

ඒ අනුව මේ වන විට විස්සයි විස්ස තරගාවලි ජයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිළ තැබූ බලාපොරොත්තු ද බොඳවී ගොස් අවසන්ය. එබැවින් ශ්‍රී ලංකා පිළට ටෙස්ට් තරගාවලිය ජය ගැනීමෙන් ලබාගත් කුසලානයෙන් පමණක් සෑහීමකට පත්වී නැවතත් මව්රට බලා පැමිණීමට සිදුව තිබේ.

පිතිකරණය නැවතත් අසාර්ථකයි; විස්සයි විස්ස පළමු ජය පාකිස්තානුවන්ට!

අසාර්ථක එක්දින තරගාවලියෙන් පසුව ඊයේ (26) අබුඩාබි නුවර දී ඇරඹුණු විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ද ශ්‍රී ලංකාවට උරුම වූයේ දරුණු පරාජයකි.

අද කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ් නැවත වරක් තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි. කළු වළාවක ඇඳුණු රිදී රේඛාවක් මෙන් අද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා සෑහෙන කලකට පසුව හොඳ සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. ඒ ඉමාඩ් වසීම්ගෙන් ඇරඹි දඟ පන්දු තර්ජනයේ සිට උස්මාන් කාන්, හසන් අලි ඇතුළු වේගපන්දු යවන්නන්ගෙන් එල්ල වූ අභියෝගය ද සාර්ථකව මැඬලමිනි. ඒ අනුව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක් එක් කරන්නට ද ඔවුන්ට හැකි විය. නමුත් සියල්ල හොඳින් සිදුවන අවස්ථාවක ශ්‍රී ලංකා පිළේ හරහට සිටියේ අනපේක්ෂිත දුවද්දී දැවී යාමකි. ඒ අනුව ලකුණු 19ක් ලබාගත් ඩිල්ශාන් මුණවීරට පිටිය හැර යාමට සිදු විය.

තම දෙවැනි විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කරන සදීර සමරවික්‍රම අද ලකුණු 32ක් ලබා ගත්තේ හතරේ පහර 2ක් තම ඉනිම තුල අන්තර්ගත කරමිනි. කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස සදීරත් අද ක්‍රීඩාගාරයට හැරී ගියේ මොහොමඩ් හෆීස්ගේ පන්දු රැකීමක් හමුවේ දුවද්දී දැවී යාමකට හසුවීමෙනි. මුල්පෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වය හමුවේ අද සීක්කුගේ ප්‍රසන්න සිව්වැනි පිතිකරු ලෙස උසස්වීමක් ලබා පිටියට පැමිණිය ද ඔහු අනවශ්‍ය ලකුණක් කරා දුවගොස් දැවී ගියේ කණ්ඩායමේ සැලසුම් අසාර්ථක කර දමමිනි. ඒ වන විට ලකුණු 150කට වැඩි ඉලක්කයට යා හැකිව තිබූ ශ්‍රී ලංකාවට ලකුණු 124කින් සෑහීමකට පත් වන්නට සිදු වූයේ ඒ අනුවයි.

හොංකොං යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මහරූෆ්ට

මේ මස 28 සහ 29 දිනවල හොංකොං හි කොව්ලූන් ක්‍රිකට් සමාජ පිටියේ දී පැවැත්වෙන හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු…

කෙසේ නමුත් වර්තමානයේ ලකුණු අතර සිටින පිතිකරුවන් අතලොස්සෙන් එක් අයෙකු වන ධනුෂ්ක ගුණතිලක අද මංගල විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කර ගත්තේ ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වෙමිනි. පන්දු 48ක් තුල වාර්තා වූ ඔහුගේ ලකුණු 51ට මනරම් හතරේ පහර හතරක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ධනුෂ්ක ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස ලබා දුන් මෙම සහයෝගයට මැදපෙළින් අවශ්‍ය සහයෝගය හිමි වූවා නම් ශ්‍රී ලංකාවට අද තරගය ජය ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසෙන්නට ඉඩ තිබුණි. නමුත් තිසර, දසුන්, උඩවත්ත සහ පතිරණ වැනි පිතිකරුවන් දුරකථන අංකයක් අයුරින් තනි ඉලක්කම්වලට සීමා වීම නිසා එම බලාපොරොත්තුව සඵල වූයේ නැත.

එහි අවසන් ප්‍රතිඵලය බවට පත්වූයේ ඉනිමේ 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ෆහීම් අශ්රාෆ්ට ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු ත්‍රිත්වයක් ද පූජා කිරීමයි. ඉසුරු උදාන, මහේල උඩවත්ත සහ දසුන් ශානක අශ්රාෆ්ට කඩුලු ත්‍රිත්වය ලබා දෙමින් දැවී ගිය පිතිකරුවන් තිදෙනායි. මීට අමතරව හසන් අලි ලකුණු 31ට කඩුලු 2ක් බිඳ දමමින් ශ්‍රී ලංකාවට සුපුරුදු පරිදි හිසරදයක් විය. ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් තිදෙනා හැරුණුකොට වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු නොකිරීම දිනයේ සුවිශේෂීම සිදුවීමක් බවට පත්විය.

ඒ අනුව ලකුණු 125ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස හඹා යාම සඳහා පාකිස්තානු පිතිකරුවන් පිටියට පිවිසිය ද එය පළමු තරගයේ දී මෙන් පහසු වූයේ නැත. ඒ ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන් ද තමන්ගේ උපරිම දායකත්වය කණ්ඩායමට ලබා දෙමින් හැකි සෑම ලකුණක්ම නතර කිරීමට උත්සාහ දැරූ බැවිනි. කෙසේ වෙතත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස අහමඩ් ශෙෂාඩ් (24) සහ ෆකාර් සමාන් (11) පාකිස්තානු ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවලට පණ දෙමින් තරමක් දුරට සාර්ථක විය.

පාකිස්තානු කණ්ඩායමේ මැදපෙළ ශක්‍තිය දරා සිටින බාබර් අසාම් සහ ශොයිබ් මලික්ටත් අද තනි ඉලක්කමේ ලකුණු වලින් සෑහීමකට පත් වන්නට සිදු විය. මෙම තීරණාත්මක කඩුලු දෙක ඉක්මනින් බිඳ වැටීමේ ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවට තරග ජයක් සඳහා පෙර නොතිබූ මාවතක් විවර වීමයි. කෙසේවෙතත් ඉන් අනතුරුව මොහොමඩ් හෆීස් සහ සෆ්රාස් කාන් ලකුණු 39ක සබඳතාවක් ගොඩ නඟමින් පාකිස්තානු පිළ වැටී තිබූ වළෙන් ගොඩ ගැනීම සඳහා උත්සාහ දැරූහ. නමුත් සචිත් පතිරණ තම අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේ දී මොහොමඩ් හෆීස්ව දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව නැවතත් තරගයට අවතීර්ණ විය.

ඉන් අනතුරුව ඉමාඩ් වසීම් සහ ෆහීම් අශ්රාෆ් ඉක්මනින් පිටියෙන් ඉවත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් පන්දුවාරය සඳහා ලකුණු 12ක ඉලක්කයක් පාකිස්තානුවන්ට ලබා දුන්හ. මේ වන විට සියලු විශේෂඥ පිතිකරුවන් ද ඇතුළුව කඩුලු 8ක් දැවී ගොස් තිබූ පාකිස්තානු කණ්ඩායමට මෙම ඉලක්කය ජය ගැනීම සිහිනයක් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවත් සිව්වැනි පන්දුවට එල්ල කළ හයේ පහරක් සමඟින් පාකිස්තානු කණ්ඩායමේ දෛවය කණපිට හරවන්නට ශදාබ් කාන්ට හැකි විය. ඔහු නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 16කි. ඒ අනුව විකුම් සංජය දියත් කළ අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී තියුණු ජයග්‍රහණයක් තහවුරු කර ගන්නට පාකිස්තානයට හැකි විය.

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම විස්සයි විස්ස තරගාවලි ජය හිමිකර ගත්තේ ද පාකිස්තානු කණ්ඩායමයි. පන්දු යැවීමේ දී නායක තිසර පෙරේරා ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ අතර විකුම් සංජය, ඉසුරු උදාන සහ සචිත් පතිරණ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දක්ෂතා දැක්වූ ශදාබ් කාන් අද තරගයේ වීරයා බවට පත්විය. දෙරට අතර සංචාරය නිමා කරමින් පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරගය ලබන 29 වැනිදා ලාහෝර් නුවර දී ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී ලකුණු 124 (පන්දුවාර 20): ධනුෂ්ක ගුණතිලක 51, සදීර සමරවික්‍රම 32, ඩිල්ශාන් මුණවීර 19, ෆහීම් අශ්රාෆ් 3/16, හසන් අලි 2/31, ශදාබ් කාන් 1/14.

පාකිස්තානය – කඩුලු 8ක් දැවී ලකුණු 125 (පන්දුවාර 19.5): මොහොමඩ් සෆ්රාස් 28, අහමඩ් ශෙෂාඩ් 27, ශදාබ් කාන් 16*, මොහොමඩ් හෆීස් 14, ෆකාර් සමාන් 11, තිසර පෙරේරා 3/24, ඉසුරු උදාන 1/17.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න