චාමිකගේ විශිෂ්ට නිමාව සමඟ ශ්‍රී ලංකාව දෙවැනි ජයත් ලබයි

U19 Asia Cup 2025

105
Sri Lanka U19 vs Afghanistan U19 asia cup 2025

වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවැනි තරගයෙන් ඇෆ්ගනිස්තාන 19න් පහළ කණ්ඩායමට එරෙහිව කඩුලු 2ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ (16) හැකි වුනා.

ඩුබායි හිදි පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ඇෆ්ගන් නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණයෙන් ඇෆ්ගනිස්තානය පළමුව පන්දුවට පහර දීම තෝරාගත්තා.

මෙහි දී ඇෆ්ගන් ආරම්භක පිතිකරු Osman Sadat ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඇෆ්ගන් ඉනිම වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකය ද එය වුනා. මීට අමතරව තවත් ඇෆ්ගන් පිතිකරුවන් 5 දෙනෙකු ලකුණු 25 සීමාව පසු කිරීමට සමත් වුවත්, ඔවුන් එක් අයකු හෝ ලකුණු 40 සීමාව පසු කිරීමට සමත් වුනේ නැහැ.

ඒ අනුව පන්දුවාර 49 පන්දු 5ක් තුළ ඇෆ්ගනිස්තානය විසින් සියලු දෙනා දැවී යමින් ලකුණු 235ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ සෙත්මික සෙනෙවිරත්න සහ දුල්නිත් සිගේරා කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වූ අතර, චාමික හීනටිගල සහ රසිත් නිම්සර කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණය කිරීමට ලකුණු 236ක ඉලක්කයක් හිමි වුනා. මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත ලකුණු 52ක් එක් කිරීමට සමත් වුනා.

මේ අතර ශ්‍රී ලංකා ඉනිමේ තුන් වන කඩුල්ල බිඳ වැටෙන විට ශ්‍රී ලංකාව ලකුණු 124ක් ලබමින් ඉතාම ස්ථාවර මට්ටමක රැඳීමට සමත් වුනා. මෙහි දී විරාන් චමුදිත ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වූ අතර, කවිජ ගමගේ ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් මින් පසුව ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු එකින් එක බිඳ වැටීම ආරම්භ වුනා. කෙසේ වෙතත් මෙහි දී පිටියේ එක් අන්තයක් රැක ගනිමින් ඉතා ඉවසිලිවන්ත සහ උපායශීලී ඉනිමක් දියත් කළ චාමික හීනටිගල විසින් තරගය අවසන් පන්දුවාරය තෙක්ම රැගෙන ඒමට සමත් වුනා. අවසන් පන්දුවාරය ආරම්භ වන විට ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට ලකුණු 8ක් අවශ්‍ය වී තිබූ අතර, එහි දී චාමික විසින් පළමුව හයේ පහරක් සහ දෙවැනුව හතරේ පහර එල්ල කරමින් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි කර දීමට සමත් වුනා.

මෙහි දී චාමිකගේ පිත්තෙන් ලකුණු 51ක් වාර්තා වුනා. එමෙන්ම පන්දු යැවීමෙන් ද කඩුලු දෙකක් දවා ගත් චාමික තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනාගත්තා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් Nooristani Omarzai කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව ලද මෙම ජයත් සමඟින් ඔවුන් තරගාවලියේ මූලික වටයේ B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වී සිටිනවා.

එමෙන්ම තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය හෙට (11) බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<