ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර අද (12) අවසන් වූ එක්දින තරගාවලියෙන් 2-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයෝ සමත් වුණා.
තරගාවලියේ පළමු තරගයෙන් බංග්ලාදේශය ජයගත් අතර දෙරට අතර පැවැති 2 වැනි තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 3කින් යුත් තරගාවලිය 1-1ක් ලෙසින් සම තත්ත්වයට ගෙන ආවා.
නමුත් අද පැවැති තරගයෙන් තරගයෙන් නැවත බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණය ද ඔවුන් සතු වූවා.
දෙරට අතර තරග 2කින් පැවැති තුන් දින තරගාවලිය අවසන් වූයේ 1-1ක් ලෙසින් සම වෙමින්.
පළමු තරගය – Chattogram
මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 271ක් ලබා ගන්නවා.
එම ඉනිම Adrito Ghosh පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 103ක් ලබා ගත්තා. ඔහු Akhash Roi (39) සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට ලකුණු 89ක සබඳතාවක් ගොඩ නගනවා.
කඩුලු දවා ගැනීමේ දී හිමරු දේශාන් ලකුණු 24කට කඩුලු 2ක් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ජේසන් ප්‍රනාන්දු. ඔහු පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 78ක් ලබා ගන්නවා.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 75කට දැවී ගොස් තිබිය දී සෙනුල් වීරරත්න (34) ද එක්කර ගත් ජේසන් ප්‍රනාන්දු 6 වැනි කඩුල්ලට ලකුණු 86ක සබඳතාවක් ගොඩ නගනවා.
හඹා ගිය එම ඉනිම ලකුණු 193කට සීමා කිරීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වෙනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 271 (50.0)Md Naiem32, Adrito Ghosh නොදැවී 103, Akhash Roi 39, Sourav Karmakar 32, හිමරු දේශාන් 2/34
- ශ්‍රී ලංකාවයස අවුරුදු 17න් පහළ කණ්ඩායම– කඩුලු 7ක් දැවී 193 (50.0) හිරුන් මතීෂ 28, ජේසන් ප්‍රනාන්දු 78, සනුල් වීරරත්න 34, Akash 1/21
බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ලකුණු 78ක ජයක්.
- එළඹෙන ජනවාරියේ දී T20 තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවේ සංචාරයක
- රෙහාන් සහ ජේසන් ශතක සබඳතාවයක
දෙවැනි තරගය – Chattogram
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 194ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් පන්දු 25ක් සහ කඩුලු 6ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තා.
එම තරගයේ බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Sk Jarif Siyam. ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනිමේ දී හිමරු දේශාන් සහ මිනුග නෙත්සර කඩුලු 3ක් බැගින් දවා ගත් අතර මානිත රාජපක්ෂ කඩුලු 2ක් ද, කෙනුල පිහිලියංග සහ පුල්ජිත් වත්සුක කඩුල්ලක් ද බැගින් දවා ගත්තා.
ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රහණයේ නියමුවන් වූයේ හිරුන් මතීෂ සහ අරෝෂ සිතුමිණ. ඔහුන් දෙදෙනා 2 වැනි කඩුල්ල සඳහා ලකුණු 80ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී හිරුන් මතීෂ පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබා ගත් අතර අරෝෂ සිතුමිණ පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනාදැවී 194(46.5) Sk Jarif Siyam 52, Akhash Roi 25, Junayed Hossain 20, මිනුග නෙත්සර 3/38, හිමරු දේශාන් 3/33, මානිත රාජපක්ෂ 2/24
- ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 4ක්දැවී 195 (45.5)අරෝෂ සිතුමිණ 50, හිරුන් මතීෂ නොදැවී 80, ජේසන් ප්‍රනාන්දු 24, සනුල් වීරරත්න නොදැවී 15, Sk Jarif Siyam 2/35, Md. Rakibul Hossan 2/17
ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
තෙවැනි තරගය – Chattogram
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම් ඉනිම එතරම් ම සාර්ථක වෙන්නේ නැහැ. ඔවුන් ගේ පළමු කඩුලු 4 ලකුණු 29කට සීමා වෙනවා.
ඉන් අනතුරු ව 5 වැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් ගොඩ නැගීමට හිරුන් මතිෂ සහ සනුල් වීරරත්න සමත් වෙනවා. එහි දී හිරුන් මතිෂ පන්දු 53ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 37කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
අනතුරු ව සනුල් වීරරත්න සහ හිමරු දේශාන් එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී හිමරු දේශාන් පන්දු 36ක දී ලකුණු 19කට දැවී යෑමත් සමඟින් එම සබඳතාව ද බිඳ වැටෙනවා.
සනුල් වීරරත්න 9 වැනි කඩුල්ලට දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා සිටියා.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 179කට සීමා වෙන අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ තවත් පන්දු 67ක් ඉතිරි ව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.
එම ඉනිම වෙනුවෙන් පළමු තරගයේ දී ශතකයක් ලබා ගත් Adrito Ghosh පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 54ක් ලබා ගන්නා ලද අතර Sk Jarif Siyam පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟන් ලකුණු 51ක් ලබා ගන්නවා.
බංග්ලාදේශ ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී ගිම්හාන් මෙන්ඩිස් ලකුණු 25කට කඩුලු 2ක් ද, මානිත රාජපක්ෂ, කෙනුල් පිහිලියංග සහ හිමරු දේශාන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකාවයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 179 (45.1)හිරුන් මතීෂ 37, සනුල් වීරරත්න 66, හිමරු දේශාන් 19, මිනුග නෙත්සර 22, Akash 4/21
- බංග්ලාදේශවයස අවුරුදු 17න් පහළ කණ්ඩායම –කඩුලු 5ක් දැවී 181 (38.5) Sk Jarif Siyam 51, Kawsar Ahmed 30, Adrito Ghosh 51, Akhash Roi නොදැවී 33, ගිම්හාන් මෙන්ඩිස් 2/25
බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















