ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලි කාලසටහන වෙනස් කරයි; ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් විශේෂ නිවේදනයක්!

Sri Lanka Tour Of Pakistan 2025

21
Sri Lanka Tour Of Pakistan 2025

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය පිළිබඳ මේ වන විට යම් ගැටලු කිහිපයක් පැන නැගී තිබෙනවා.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමුව පාකිස්තානය සමඟ එක්දින තරග ත්‍රිත්වයක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් පසුව පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමඟ තුන් කොන් විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි. මෙම තරගාවලියේ පළමු තරගය පසුගිය අඟහරුවාදා (11) ක්‍රියාත්මක වූ අතර, දෙවැනි තරගය අද (13) ක්‍රියාත්මක වීමට නියමිත ව තිබුණා.

කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා දිනයේ දීම පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු වූ අතර, මෙහි දී ජීවිත 12 අහිමි වූ අතර, තවත් 27 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබුවා. මෙම සිදුවීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට තම ආරක්ෂාව පිළිබඳ ගැටලු ඇති වී තිබෙනවා.

කෙසේ වෙතත් ඒ වහාම පාකිස්තානය පාර්ශවයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳ සිය වගකීම තහවුරු කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සාකච්ඡා වට කිහිපයක් ම ක්‍රියාත්මක කර තිබුණා.

මේ අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම තමා ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් නැවත ලංකාවට පැමිණීමට ඉල්ලීම් සිදු කර ඇති බව කණ්ඩායම් කලමණාකාරීත්වය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දන්වා තිබුණා.

ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමට පාකිස්තාන ක්‍රිකට් සහ අදාළ බලධාරීන් වග බලා ගන්නා බව සහතික කර තිබෙනවා.

එමෙන්ම මෙම සංචාරය ඉදිරියට කර ගෙන යාමේ නිවේදනය නොතකා ශ්‍රී ලංකාවට පැමිණෙන ක්‍රීඩකයින් සිටී නම් ඒ වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයින් ව පාකිස්තානයට යැවීමට පියවර ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහි දී සඳහන් කරනවා. මේ අතරම මෙම නියෝග නොතකන ඕනෑම ක්‍රීඩකයකු හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු හෝ නැවත ලංකාවට පැමිණෙන්නේ නම් ඔවුන්ගේ තීරණ තක්සේරු කිරීම වෙනුවෙන් විධිමත් සමාලෝචනයක් සිදු කර, සුදුසු තීරණයක් ගැනීමට තමන්ට සිදු වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහි දී අවධාරණය කර තිබෙනවා.

මේ අතර අද දිනයේ පැවැත්වීමට නියමිත ව තිබූ එක්දින තරගය හෙට (14) දිනයට කල් දමා ඇති අතර, තෙවැනි තරගය එළඹෙන ඉරිදා (16) දිනයට යොදා තිබෙනවා.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, එමෙන්ම තරගාවලියේ සියලු තරග ThePapare හරහා සජීවී ව නැරඹීමේ අවස්ථාව ද ඔබට හිමි වනු ඇති. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<