Home Sinhala ශ්‍රී ලංකා පිළ තරගයක් දී පරදියි!

ශ්‍රී ලංකා පිළ තරගයක් දී පරදියි!

76

පිතිකරුවන් පෙන්නුම් කළ සාමූහික දක්ෂතා නිසා අද (02) පැවති දෙවැනි එක්දින තරගය ද ජය ගනිමින් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සත්කාරක පාකිස්තානු කණ්ඩායමට හැකි විය. ඒ කරච්චි හිදී පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 5කින් ජය ගනිමිනි. මේ වෙනුවෙන් ඔවුන්ට තම මව්බිමේ දී සිදු කළ හොඳම හඹා යාම වාර්තා කර ගැනීමට ද සිදු විය.

තරග ජය අහිමි වුවද ශෙහාන් – දසුන් අතරේ වාර්තාගත සබඳතාවයක්!

මුල්පෙළ පිතිකරුවන් පස් දෙනෙකු ශ්‍රී ලංකා ඉනිම සම්පූර්ණයෙන්ම බිඳ දමා…..

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවැනි එක්දින තරගයේ දී කැපී පෙනෙන යමක් කිරීමට අපොහොසත් වූ සදීර සමරවික්‍රම සහ ඕෂධ ප්‍රනාන්දු අද කණ්ඩායමෙන් ඉවත් කර තිබූ අතර ඒ වෙනුවට මිනෝද් භානුක සහ ඇන්ජෙලෝ පෙරේරා කණ්ඩායමට එක් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. ඒ අනුව තවමත් 24 වැනි වියේ පසුවන කඩුලු රකින පිතිකරු මිනෝද් භානුක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් 192 වැනි ක්‍රීඩකයා බවට පත්විය.

මීට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන වෙනුවට චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් අද කණ්ඩායමට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි. පාකිස්තානු කණ්ඩායම ද අද තරගය සඳහා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබුණේ ඉමාම් උල් හක් සහ ඉමාඩ් වසීම් වෙනුවට අබීද් අලිට සහ මොහොමඩ් නවාස්ට තෙවැනි තරගය වෙනුවෙන් පිටියට පිවිසීමට වරම් උදාකර දෙමිනි.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භක පිතිකරණ යුගලයේ වෙනසක් සිදු කරමින් අද අවිශ්ක ප්‍රනාන්දුට පිතිපෙළේ උසස්වීමක් ලබා දී තිබුණ ද, එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට ඔහුට හැකි නොවීය. ඒ අවිශ්ක ලකුණු 4ක් ලබා සිටිය දී, මොහොමඩ් ආමීර්ගේ ගොදුරක් බවට පත්වූ බැවිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි ලහිරු තිරිමාන්න දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක සබඳතාවයක් ගොඩ නැගීමට අනෙක් අන්තයේ හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ධනුෂ්ක ගුණතිලකට සහය විය.

අද තිරිමාන්න පන්දු 53කට මුහුණ දී ලබා ගත්තේ ලකුණු 36ක් පමණක් වුව ද ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට එය රුකුලක් විය. දේශීය පිටියේ ලකුණු අතර සිටිය ද මේ වන විට තමන්ට ලැබෙන ජාත්‍යන්තර තරග අවස්ථා නිකරුණේ අපතේ හරිමින් සිටින ඇන්ජෙලෝ පෙරේරා අද පන්දු 25කට මුහුණ දෙමින් රැස්කළේ ලකුණු 13ක් පමණි. 

මෙය නොකඩවා සිදු වුවහොත් දේශීය පිටිය ජය ගත් නමුත් ජාත්‍යන්තරය ජය ගැනීමට නොහැකි වූ ජෙහාන් මුබාරක්, තිලිණ කණ්ඩම්බි වැනි ක්‍රීඩකයින් අතරට ඇන්ජෙලෝගේ නමත් ඇතුළත් වනු ඇත.

කුමාර් සංගක්කාර ලෝක ක්‍රිකට් වර්ධනයට වැඩ අරඹයි

ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ලොවට දායාද වූ විශිෂ්ටතම වමත් පිතිකරුවා වන කුමාර්….

අද ජාත්‍යන්තර වරම් දිනා ගත් මිනෝද් භානුක, පීඩනය සහ පාකිස්තානු පන්දු යවන්නන්ගේ තර්ජනය මැද ප්‍රශංසනීය ඉනිමක් ක්‍රීඩා කළේ තාක්ෂණයෙන් පිරිපුන් හයේ පහර දෙකක් සමඟින් ලකුණු 36ක් ලබා ගනිමිනි. ක්‍රමයෙන් පන්දුව දෑසට හුරුවීමත් සමඟ ප්‍රහාරය කරා යොමුවුනු මිනෝද්ට ශ්‍රී ලංකාව විශාල ලකුණු පුවරුවක් කරා ගෙන යාමට හැකි බව පෙනුණ ද ධනුෂ්ක සහ මිනෝද් අතර සන්නිවේදනයේ දුර්වලතාවයක් නිසා පහසු දුවද්දී දැවී යාමක් ලබා ගැනීමට පාකිස්තානුවන්ට අවස්ථාව සැලසුණි.

පසුගිය කාලයේ තම ක්‍රීඩා දිවියේ විවිධ හැල හැප්පීම් රාශියකට මුහුණ දුන් ධනුෂ්ක ගුණතිලක අද තම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පුනරාගමනය සැමරුවේ දෙවැනි එක්දින ශතකය වාර්තා කරමිනි. ඉදිරි පාදයේ මෙන්ම පසු පාදයේ ඉතාම හොඳින් ක්‍රීඩා කළ ඔහු පිටිය සිසාරා පහර දෙමින් අද ලබාගත් ලකුණු 133 අංග සම්පූර්ණ එක්දින ශතකයක් ලෙස අවිවාදයෙන්ම සඳහන් කළ හැකිය. ඊට හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

මීට අමතරව ශ්‍රී ලංකා පිළ අවසන් පන්දුවාර 10 තුල දී නැවත නැවතත් පෙන්නුම් කරන දුර්වලතාවයන් මෙවර වැසී ගියේ දසුන් ශානක එල්ල කළ සුපිරි ප්‍රහාරය හේතුවෙනි. අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි ඔහු අද තමන්ට හිමි වූ පන්දු 24 උපරිමයෙන්ම භාවිතා කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් රැස් කරමිනි. ඔහුගේ දක්ෂතාව නිසාම ශ්‍රී ලංකාවට ලකුණු 298ක ඉලක්කයක් පාකිස්තානු පිතිකරුවන්ට ලබා දීමට හැකි විය.

කෙසේ නමුත් පාකිස්තානු මුල්පෙළ පිතිකරුවන්ගේ දස්කම් ඉදිරියේ ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණ සිහින සුළඟේ පාවී යාමට වැඩි වේලාවක් ගත නොවීය. ඒ ෆකාර් සමාන් (76) සහ අබීද් අලි (74) යන ආරම්භක පිතිකරණ යුගලය පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 123ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගූ බැවිනි. පාකිස්තානු ඉනිමේ කිසිවෙකුත් අද ශතකයක් කරා නොගිය ද ආරම්භයේ දීම ලැබුණු මෙම ශක්තිමත් අත්තිවාරම ඔස්සේ පාකිස්තානුවන් තම ඉනිම ගොඩ නැගීම සිදු කළහ.

පසුගිය තරගයේ දී ශතකයක් වාර්තා කර ගත් බාබර් අසාම් අද ලකුණු 31කට දැවී ගියේ නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනි. මෙහි දී විනිසුරු ජොයෙල් විල්සන් දෙවැනි වරටත් තම තීරණය වරද්දා ගත්ත ද DRS අවස්ථාව යොදා ගනිමින් එය දැවී යාමක් බවට පරිවර්තනය කර ගැනීමට ශ්‍රී ලංකා පිළට හැකි විය.

2019 නැගී එන ආසියානු කුසලාන තරග කාලසටහන නිකුත් වෙයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ‘2019 ආසියානු…..

නායක සෆ්රාස් අහමඩ්ගේ කඩුල්ල ලකුණු 23කට දවා ගැනීමට ලහිරු කුමාරට හැකි විය. පාකිස්තානු ඉනිමේ කඩුලු බිඳ වැටීම ඉතා මන්දගාමී වූ බැවිනි ඔවුන් පහසු ජයක් කරා යනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ මෙවන් වටපිටාවක් තුලයි.

නමුත් අවසන් පන්දුවාර කිහිපය තුල පන්දුව සෑහෙන දුරකට මන්දගාමී වීමත් සමඟ පාකිස්තානු පිතිකරුවන්ට ලකුණු රැස් කිරීම අසීරු වන බව පෙනෙන්නට විය. ඒ අනුව අවසන් පන්දුවාර 5 තුල දී ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය කළ ලකුණු සංඛ්‍යාව 37කි. 

මේ අවස්ථාවේ දී නායක තිරිමාන්න පන්දු යැවීමේ අවස්ථාව ලහිරු කුමාරට ලබා දුන් අතර තවමත් ජාත්‍යන්තර අත්දැකීම් අඩු මෙම පන්දු යවන්නා ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ ඉෆ්තිකාර් අහමඩ් සහ හැරිස් සොහෙල් 46 වැනි පන්දුවාරයට ලකුණු 18ක් උදුරා ගනිමින් තරගය නැවතත් තම ග්‍රහණයට ගත්හ. 

ඒ අනුව පන්දුවාර 48කුත් පන්දු 2ක් අවසානයේ ලකුණු 299ක් ලබා පාකිස්තානුවන් තරගය ජය ගන්නා විට ඔවුන්ට අහිමිව තිබුණේ කඩුලු 5ක් පමණි. පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් කඩුලු 2ක් දවා ගනිද්දී වනිඳු හසරංග සහ ශෙහාන් ජයසූරිය එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. තරගයේ වීරයා ලෙස අබීද් අලි සම්මාන දිනා ගනිද්දී බාබර් අසාම් තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණි.

ඒ අනුව එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස පාකිස්තානයට ජය ගෙන දෙමින් නිමාවට පත්වූ අතර නවක මුහුණ රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා පිළ එම තරග දෙකේ දී ම ගෞරවාන්විත සටනක් ලබා දුන් බව ද මෙහි දී සඳහන් කළ යුතුය. 

එබැවින් මෙම සංචාරයේ දී දස්කම් අතරට පැමිණි දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, මිනෝද් භානුක වැනි ක්‍රීඩකයින් ද නිවැරදිව කළමනාකරණය කර ගනිමින් ඉදිරි තරගාවලි සඳහා සවිමත් එක්දින කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමේ සුබවාදී බලාපොරොත්තු ඇතිකර ගැනීමට ද ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවී ඇත.

Result


Sri Lanka
297/9 (50)

Pakistan
299/5 (48.2)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Sarfaraz Ahmed b Mohammad Amir 4 6 1 0 66.67
Danushka Gunathilaka b Mohammad Amir 133 134 16 1 99.25
Lahiru Thirimanne c & b Mohammad Nawaz 36 53 4 0 67.92
Angelo Perera c Haris Sohail b Usman Khan 13 25 0 0 52.00
Minod Bhanuka run out (Mohammad Nawaz) 36 39 0 2 92.31
Shehan Jayasuriya c Iftikhar Ahmed b Shadab Khan 3 6 0 0 50.00
Dasun Shanaka c Haris Sohail b Wahab Riaz 43 24 4 2 179.17
Wanindu Hasaranga b Mohammad Amir 10 12 0 0 83.33
Lakshan Sandakan run out (Mohammad Amir) 0 1 0 0 0.00
Nuwan Pradeep not out 1 2 0 0 50.00


Extras 18 (b 1 , lb 7 , nb 2, w 8, pen 0)
Total 297/9 (50 Overs, RR: 5.94)
Did not bat Lahiru Kumara,

Fall of Wickets 1-13 (2.1) Avishka Fernando, 2-101 (19.5) Lahiru Thirimanne, 3-151 (29.1) Angelo Perera, 4-225 (40.6) Minod Bhanuka, 5-236 (42.5) Shehan Jayasuriya, 6-243 (44.3) Danushka Gunathilaka, 7-284 (48.4) Wanindu Hasaranga, 8-284 (48.5) Lakshan Sandakan, 9-297 (49.6) Dasun Shanaka,

Bowling O M R W Econ
Mohammad Amir 10 0 50 3 5.00
Usman Khan 8 1 41 1 5.12
Iftikhar Ahmed 9 1 43 0 4.78
Wahab Riaz 10 0 81 1 8.10
Shadab Khan 9 0 50 1 5.56
Mohammad Nawaz 4 0 24 1 6.00


Batsmen R B 4s 6s SR
Fakhar Zaman c Dasun Shanaka b Nuwan Pradeep 76 91 7 1 83.52
Abid Ali lbw b Wanindu Hasaranga 74 67 10 0 110.45
Babar Azam lbw b Nuwan Pradeep 31 26 2 0 119.23
Sarfaraz Ahmed b Lahiru Kumara 23 33 1 0 69.70
Haris Sohail b Shehan Jayasuriya 56 50 3 1 112.00
Iftikhar Ahmed not out 28 22 3 1 127.27
Wahab Riaz not out 1 1 0 0 100.00


Extras 10 (b 3 , lb 5 , nb 0, w 2, pen 0)
Total 299/5 (48.2 Overs, RR: 6.19)
Fall of Wickets 1-123 (19.3) Abid Ali, 2-181 (29.1) Babar Azam, 3-189 (31.3) Fakhar Zaman, 4-244 (41.1) Sarfaraz Ahmed, 5-287 (47.4) Haris Sohail,

Bowling O M R W Econ
Nuwan Pradeep 9.2 1 53 2 5.76
Dasun Shanaka 5 0 28 0 5.60
Lahiru Kumara 7 0 55 1 7.86
Lakshan Sandakan 10 0 62 0 6.20
Wanindu Hasaranga 10 0 54 1 5.40
Shehan Jayasuriya 7 0 39 1 5.57



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<