සීතල දෙසැම්බරයේ ආරම්භ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (17) නවසීලන්තයේ වෙලින්ග්ටන් හිදී ක්‍රියාත්මක විය.
තරගයේ තෙවැනි දිනය අවසන් වෙද්දී ශ්‍රී ලංකා දෙවන ඉනිම 20/3ක් ලෙස සනිටුහන් වූයේ නවසිලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 276ක් පසුපසින් පසුවෙමිනි.
ලේතම්ගේ නොදැවුණු ශතකයෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යයි
තරගයේ තෙවැනි දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම කරමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 311ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක පසුවිය. ටොම් ලේතම් හා රොස් ටේලර් නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටියේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 91*ක් සබඳතාවයක් ගොඩනංවමිනි. කෙසේ නමුත් තරගයේ තෙවැනි දිනය ආරම්භ කරමින් ලහිරු කුමාර එවූ පළමු පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී ලකුණු 50ක් ලබා සිටි ටේලර්ගේ ඉනිම නිමාවට පත්වූයේ short leg කලාපයේ පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරත්න රැකගත් අගනා උඩපන්දුවත් සමඟයි.
දිනයේ ආරම්භයේම ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි වීම වෙනුවෙන් ඉන්පසුව පිටියට පැමිණි හෙන්රි නිකලස් තරගයේ දෙවන දිනයේ සිට ඒ දක්වා පන්දුවට පහර දෙමින් සිටි ලේතම් හා එක්වෙමින් යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට තරගයේ පීඩනය හරවාලන ලද්දේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114ක දැවැන්ත සබඳතාවයක් වර්ධනය කරමිනි.
නවසීලන්ත තණතීරු දඟපන්දු යවන්නන් හට එතරම් උචිත නොවූවත් දිල්රුවන් පෙරේරා පන්දු 101කට මුහුණ දෙමින් 4 පහර 6ක් සමඟ ලකුණු 50ක් ලබා සිටි නිකලස්ව දවා ගත්තේ කසුන් රාජිතගේ ද සහාය ඇතිවයි. ලකුණු 426/4ක් ලෙස නවසීලන්ත ලකුණු සටහන දිස්වෙද්දී පිටියට පැමිණි කඩුලු රකින ක්‍රීඩක බී. ජේ. වොට්ලින්ග් තමා මුහුණ දුන් 6 වැනි පන්දුවේ දී ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගියේ කුමාර එවූ වේගවත් බවුන්සර් පන්දුවක් නිවැරදි ලෙස තේරුම් ගැනීමට නොහැකි වූ නිසයි.
Major League පිටියට ශතක වැස්සක්
ශ්‍රී ලංකා පළමු ඉනිමට සාපේක්ෂව සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් පෙරමුණ ගෙන සිටි නවසීලන්ත කණ්ඩායමට තවදුරටත් සවියක් වන්නට වූ කොලින් ඩි ග්‍රාන්ඩ්හෝම් 4 පහර 3ක් හා 6 පහර 3ක් එල්ල කරමින් වේගවත් හා ජවසම්පන්න පිතිකරණයක නිරත වූ නමුත් ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වැනි අර්ධ ශතකයට හා නවසිලන්ත ඉනිමේ 500 වැනි ලකුණට එක් ලකුණක් මෙපිටින් සිටිය දී ග්‍රාන්ඩ්හෝම්ගේ ඉනිම අවසන් කිරීමට ධනංජය ද සිල්වා සමත් විය.
නවසීලන්ත පළමු ඉනිමේ පන්දුවාර 142ක අවසානය සනිටුහන් වීමත් සමඟම පිටියේ විනිසුරුවරුන් තෙවැනි දිනය සඳහා නියමිත තේ පානය සඳහා තරගය නවතා දැමූ අතර ඒ වන විට නවසීලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 509ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක පසු වූයේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 227ක් ඉදිරියෙන් සිටිමිනි.
නවසීලන්ත පළමු ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 79ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර එම ඉනිම ගොඩනැංවූ පතාක යෝධයා බඳු වූ ලේතම් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් ද්ව්ත්ව ශතකයක් ලබා ගත් 15 වැනි ක්‍රීඩකයා බවට පත්වූයේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කරගෙනයි. 4 පහර 21ක් හා එක් 6 පහරක් සමඟින් අලංකාරවත් වූ ලේතම්ගේ නොදැවුණු ඉනිම ලකුණු 264* දී අවසන් වූයේ නවසීලන්ත සියලුම පිතිකරුවන් දැවී යාම නිසයි. එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මෙතෙක් ලබාගත් වැඩිම ලකුණ ද විය.
පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 127කට කඩුලු 4ක් දවාගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වූ අතර ඔහුට සහාය වූ ධනංජය ද සිල්වා හා දිල්රුවන් පෙරේරා අතරේ කඩුලු 2ක බැගින් බෙදී යන ලදි.
ලකුණු 296ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කිරීම වෙනුවෙන් පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වන දිමුත් කරුණාරත්න හා දනුෂ්ක ගුණතිලක යන දෙදෙනාම පිළිවෙළින් ලකුණු 10කට හා ලකුණු 3කට දවා ගැනීමට නවසීලන්ත ප්‍රබල වේගපන්දු යවන්නන් සමත් වූ අතර ඉන් අනතුරුව පිටියට පැමිණි දකුණතින් පිත්ත හසුරුවන ධනංජය ද සිල්වා හට ද සාර්ථක වීමට දකුණතින් වේගපන්දු යවන ටිම් සවුති අවස්ථාව ලබා දුන්නේ නොමැත.
තරගයේ තෙවන දිනය වෙනුවෙන් නවතා දමන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 20ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක පසුවේ. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් පිළිවෙළින් ලකුණු 5*ක් හා ලකුණු 2*යි.
ශ්‍රී ලංකා පළමු ඉනිම – 282 (90): ඇන්ජලෝ මැතිව්ස් 83, නිරෝෂන් දික්වැල්ල 80*, දිමුත් කරුණාරත්න 79, ටීම් සවුති 6/68, නීල් වැග්නර් 2/75.
නවසීලන්ත පළමු ඉනිම – 578 (157.3): ටොම් ලේතම් 264*, කේන් විලියම්සන් 91, රොස් ටේලර් 50, හෙන්රි නිකලස් 50, කොලින් ඩි ග්‍රාන්ඩ්හෝම් 49, ලහිරු කුමාර 4/127, ධනංජය ද සිල්වා 2/54, දිල්රුවන් පෙරේරා 2/154
ශ්‍රී ලංකා දෙවන ඉනිම (තෙවැනි දිනය අවසානයේ) – 20/3 (12):
තරගය හෙට (18) සිව්වැනි දිනය වෙනුවෙනුත් පැවැත්වෙන අතර එම දිනයේ තොරතුරු ද ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















