ස්ථානය සුගතදාස ක්‍රීඩාංගණය අසල ඇති හරස් වීදියකි. මම මිතුරු සමාගමක් අපේක්ෂාවෙන් ඒ අසල පිහිටි ලයිට් කණුවකට බර දී එයට යාබදව තිබූ වීදියේ පැවැත්වෙමින් තිබුණු ක්‍රිකට් තරගය දෙස බලා සිටියෙමි.
“උඩින් ගාපං බං.. බැරි නම් බැඩ් එක දීල පලයං..”
වයස අවුරුදු පහළොවක දාසයක තරමේ ගැටවරයන් රංචුවකට මැදිව සිටි, තරගයේ විනිසුරු ලෙසින් ක්‍රියා කරමින් සිටි ගැටවරයා වීදි ක්‍රිකට්වලටම ආවේණික භාෂාවකින් මෙසේ විධාන දෙන්නේ තම කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයේ යෙදෙමින් සිටින සගයාටයි.
මෙසීගේ නාමය හා අංක 10 සටහන් කෙරුණ බාසිලෝනා කණ්ඩායමට අයත් පාපන්දු ජර්සියක් හැඳගෙන පිතිකරණයේ යෙදෙමින් සිටි සම වයස් තරුණයා පිතිකරණයේ යෙදීම මොහොතකට නවතා විධාන දුන් ගැටවරයා දෙසට හැරී,
“උඹ කට වාගෙන වයිට් එක හරියට අල්ලාං. බැරියල් එකට උඩින් යන්න ගාන්නෙ මේක..”
යනුවෙන් පිළිතුරු දී යළි පිතිකරණයේ යෙදීමට සූදානම් විය.

එසේ තම සගයාට පිළිතුරු දීමෙන් පසුව පන්දුවට පහර දෙමින් සිටි ගැටවරයා නැවතත් පිතිකරණයට සූදානම් වන අතරේ පන්දු යවමින් සිටි තරුණයා පන්දුව යැවීම සඳහා අඩක් දිවවිත් අවසානය. එම පන්දු යවන තරුණයාට පිතිකරුවා සූදානම් ද නැති ද යන්න අදාළ නැත. ඔහු තමාගේ අතට පන්දුව ලැබුණ විගස ආපසු හැරී පන්දු යැවීම සඳහා දිව එයි.
ඒ වන විටත් පිතිකරුවා පන්දුවට මුහුණ දීමට සූදානම් නැත. නමුත් මෙහි දී ජාත්‍යන්තර තරගයක මෙන් පිතිකරුවා සීමා ඉරෙන් ඉවත් වීමක් සිදු වන්නේ නැත. තරගය නොනවත්වා ගලා යයි.
කටකාර විනිසුරුවරයා පසුකර පැමිණි පන්දු යවන්නා “හුහ්” යනුවෙන් හඬ නගා වේගයෙන් එවූ පන්දුව පිතිකරුවාගේ පාද අසල යෝකර් ලෙන්ත් හි පතිත වෙද්දී පිතිකරුවා තම ඉදිරි පාදය මදක් මෑත්කර ක්‍රීඩා පිටියක නම් මිඩ් විකට් කලාපය දෙසින් ඇදී යන පරිදි වැරෙන් ලොෆ්ටඩ් ඔන් ඩ්‍රයිව් පහරකට සමාන පහරක් එල්ල කිරීමට සමත් විය.

“දැක්කනෙ පාර. සද්දෙ වාල හිටාං..”
පිතිකරණයේ යෙදී සිටි ගැටවරයා තම වම් අතේ පිත්ත රඳවාගෙන දකුණතින් ජර්සියේ වම් අත ඉහළට අදිනා අතරේ තමාට චෝදනා කළ විනිසුරු සගයා දෙසට හැරී එසේ පැවසූයේ සරදම් සිනහවක් ද මුහුණේ රඳවා ගෙනය.
ඔබත් සැන්දෑයාමයන් හි අගනගරය අවට සැරිසරන්නෙකු නම් මෙවැනි දසුන් සුලබව දැක ඇතිවාට සැකයක් නොමැත. වීදි ක්‍රිකට් ක්‍රීඩාව කොළඹ නගරයේ තරුණ පිරිස් අතර එතරම් සුලබය. ජනප්‍රියය.
වීදි ක්‍රිකට් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කරුණක් නොවේ. පසු කාලීනව ජාත්‍යන්තර තරු බවට පත්වූ සුපිරි ක්‍රිකට් තරු පවා ක්‍රිකට් ක්‍රීඩාවට අත් පොත් තබා ඇත්තේ ඒ ඒ රටවලට ආවේණික වූ ක්‍රිකට් තිඹිරිගෙවල් තුළය.

ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හා නවසීලන්තය වැනි රටක නම් ඒ තිඹිරිගෙය බොහෝ දුරට ගෙයි පසුපස මිදුලක් (Backyard) විය හැක.
ඉන්දියාව, පාකිස්තානය හා බංගලාදේශය වැනි රටක නම් එය රථවාහන ගමන් කරනා පාරක් විය හැක.
බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල නම් එය සිනිදු වැල්ලෙන් සැදුම්ලත් වෙරළ තීරයක් විය හැක.
ශ්‍රී ලංකාවේ නම් එය ඉහත කී ඕනෑම එකක් විය හැක. නැතිනම් පොල් වත්තක්, රබර් වත්තක් තුළ විය හැක. එසේත් නැතිනම් ගොයම් කැපූ පසුව ඉතිරි වී ගිය ඉපනැල්ලෙන් සැදුම්ලත් වෙල් යායක් විය හැක.
ක්‍රිකට්වලට මගේ කැමැත්තක් නැහැ – ක්‍රිස් ගේල්
90 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ පිතිකරුවා සනත් ජයසූරිය බව ……
කුඩා කල මිතුරන් හා එක්ව වෙල් යායවල් වල හෝ මං මාවත් වල හෝ කුඩා ගෙවතු වල එක් වතාවක්වත් ක්‍රිකට් ක්‍රීඩා කළ ඉතිහාසයක් නොමැති ශ්‍රී ලාංකිකයෙකු මේ මහපොළව මත සිටිතැයි මා විශ්වාස කරන්නේ නැත. ඒ තරමටම ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලාංකිකයන්ගේ ලේ, මස්, ඇට, නහර වලින් නොනැවතී ඇටමිඳුළු දක්වාම කිඳා බැස ඇති බව ඔබට අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
මෙසේ කුඩා කල තම මිතුරන් හා එක්ව ක්‍රීඩා කරනා අවධියේ පුරුදු වන ඇතැම් දේවල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජය ගැනීමට පවා දායක වන ආකාරය ඇතැම් විට පුදුම සහගතය.
ශ්‍රී ලංකාව බිහිකළ සාර්ථකම ක්‍රීඩකයන් බොහොමයකගේ පන්දු යැවීමේ ඉරියව් හා පන්දුවට පහර දීමේ දී එල්ල කළ පහරවල් රැසක්ම ඔවුන් කුඩා කල ක්‍රීඩා කරන විට පුරුදු පුහුණු වූ ඒවා බව රහසක් නොවේ. සනත් ජයසූරියගේ කට් පහර, ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව, කුසල් පෙරේරාගේ පිතිකරණ රටාව මේ සඳහා ඇති හොඳම උදාහරණ වේ.

පසු කලක දී පාකිස්තානු පන්දු යැවීමේ බලඇණියේ ප්‍රබලයෙකු වූ වසීම් අක්‍රම් එක්තරා සම්මුඛ සාකච්ඡාවක් අතරතුර පවසා තිබුනේ ජයසූරියට පිට ඉන්නට පිටතින් කුඩා හෝ ඉඩක් ලැබුනොත් ඔහු නොනවත්වාම ගලී ගා පොයින්ට් කලාප අතරින් ඇදී යන පරිදි කට් පහරවල් එල්ල කරනා බවයි. මේ නිසා පන්දු යවන්නන්ට පිට ඉන්න දෙසින් ජයසූරිය හට අඟලක හෝ ඉඩක් ලබා දිය නොහැකි බව ඔහු පවසා තිබුනි.
ජයසූරියට මේ හැකියාව ලැබුණේ කුඩා කළ ඔහු ක්‍රීඩාවේ යෙදුන පරිසරය නිසාය.
එසේම වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුවක් වන කුසල් ජනිත් පෙරේරාගේ ආක්‍රමණශීලී පිතිකරණයට ද ආභාෂය ලැබී ඇත්තේ සනත් ජයසූරියගෙනි.
කුසල්ගේ පහරවල් ජයසූරියගේ පහරවල්වලට බොහෝ සෙයින් සමානය. එසේම ඔවුන් දෙදෙනාගේ ශරීර ප්‍රමාණයන් පවා එකිනෙකාට තරමක් සමානය. මේ නිසාම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් කුසල්ව හඳුන්වන්නේ ද පොඩි සනා ලෙසිනි.
කුඩා කල මිතුරන් හා ක්‍රීඩාවේ යෙදෙන විට ජයසූරියව අනුකරණය කිරීමට කුසල්ට අවශ්‍ය වූ බවත් එකල දකුණත් පිතිකරුවෙකු වූ කුසල්ට ජයසූරිය මෙන් පහරවල් එල්ල කිරීමට තිබූ ආශාව නිසාම ඔහු වමත් පිතිකරුවෙකු ලෙසින් අනුවර්තනය වූ බවත් කියවේ.
ලසිත් මාලිංගගේ අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්වට හේතු වී ඇත්තේ ද කුඩා කළ මිතුරන් හා ක්‍රිකට් ක්‍රීඩා කරන සමයේ ලබාගත් අත්දැකීම් ය. ලසිත් සැහැල්ලු පන්දු ක්‍රීඩාවේ යෙදුණේ රත්ගම ප්‍රදේශයේ ය. එම ප්‍රදේශයේ වැලි සහිත පසක් තිබීම නිසා පන්දුව පිටියේ පතිතවීමෙන් පසුව පිතිකරුවා වෙත පැමිණෙන්නේ තරමක් සෙමින් ය. මේ නිසා පිතිකරුවාට හොඳ හැටි සූදානම් වී පහර එල්ල කිරීමට හැකියාවක් ලැබේ.
මේ හේතුව නිසා පන්දුව වඩාත් වේගයෙන් යොමු කිරීමට පන්දුව මුදා හරින අවස්ථාවේ දකුණු අතෙහි මද ආනතියක් සහිතව (Slingy Action) පන්දු යැවීමට මාලිංග හුරුවී ඇත. එසේම පන්දුව පිටියේ මැද පතිත කර එවුවහොත් වේගය අඩාල වන නිසා හැකිතාක් යෝකර් පන්දු යැවීමට ඔහු උත්සාහ කර ඇත. දිගු කාලයක් පුරාවට මේ අයුරින් පන්දු යැවීමට හුරු වීම නිසා වේගයෙන් පන්දු යැවීමටත් එසේම යෝකර් පන්දු යැවීමේ දක්ෂතාවය දියුණු කර ගැනීමටත් මාලිංගට හැකියාව ලැබී ඇත.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය දෙස හැරී බැලුවහොත් වාර්තා පොත් අතර තම නාමය සටහන් කරන්නට සමත් වූ බොහෝ ක්‍රීඩකයන් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා ප්‍රගුණ කර ඇත්තේ වීදි ක්‍රිකට් ක්‍රීඩාව තුළිනි. එසේත් නැතිනම් ගෙවතු හෝ වෙල් යායවල් වල ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමෙනි.
වීදි ක්‍රිකට් ක්‍රීඩාවේ තරගකාරී බව තීරණය වන්නේ ජයග්‍රාහකයන්ට ලබාදෙන ත්‍යාග හෝ කුසලාන මත නොවේ. ඇතැම් විට තරග ජයග්‍රාහකයන්ට ලැබෙන කුසලානය සිසිල් බීම බෝතලයක් විය හැක. ඇතැම් විට එය පොල් කටු හෝ පොල් පිතිවලින් සැකසූ කුඩා සිහිවටනයක් විය හැක.
කලාතුරකින් එවැනි යම් භාණ්ඩයක් ජයග්‍රාහකයන්ට පිරිනැමුණද බොහෝ අවස්ථාවල තරුණ ගැටයින් එකිනෙකා හා උරෙන් උර ගැටෙන්නේ මෙවැනි කුසලාන හෝ ත්‍යාග කිසිවක් නොමැතිව හුදෙක් ඔවුන් තුළ ක්‍රීඩාවට ඇති උනන්දුව නිසාය. එසේත් නැත්නම් “ක්‍රිකට් උණ” නිසාය.

කුඩා කල මේ අයුරින් මිතුරන් හා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම අනාගත ක්‍රිකට් තරු බිහි කිරීම සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කරන බව නොරහසකි. එසේම මිතුරන් හා උරෙන් උර ගැටෙමින් දියුණු කරගන්නා කුසලතවයන් ද පසු කාලීනව ජාත්‍යන්තර පිටිය ජය ගැනීමට පවා ඉවහල් වන බව මා පෙර කී උදාහරණ දෙස බැලීමේ දී හොඳින් පෙනී යන කරුණකි.
මේ නිසාම කුඩා කල දරුවන්ට ඔවුන්ට රිසිසේ ක්‍රීඩා කිරීමට ඉඩ හැර ඔවුන් නව යොවුන් වියට එළඹුණ පසුව ඔවුන්ගේ ක්‍රීඩාවේ ඇති අඩුපාඩු පමණක් සකස් කර දීම වඩාත් සුදුසුය. මක් නිසාද ඉතා කුඩා කලදීම දරුවන් කිසියම් රාමුවකට සීමා කිරීමෙන් ඔවුන් සතු සහජ දක්ෂතාවයන් ඉස්මතු වීමේ අවස්ථාව අහිමි වී යා හැකි බැවිනි.

ක්‍රීඩාව අතින් බලන කල මෙය ඉතා විශාල ජයග්‍රහණයකි. පළමු පාසල් වාරය පාසල් මහා ක්‍රිකට් තරග හා අනෙකුත් ක්‍රීඩා උත්සව වලින් පිරී ඇති නිසා මෙම තීරණය වඩාත් ප්‍රායෝගික මෙන්ම ප්‍රශස්ත තීරණයක් බව කිව යුතුය.
කෙසේ නමුත් මෙම තීරණයෙහි සැබෑ ප්‍රතිඵල ලැබීම තීරණය වන්නේ දෙමාපියන් විසින් මෙම තීරණයට ප්‍රතිචාර දක්වන ආකාරය අනුවය. ඔවුන් තම දරුවන් හට බාධාවකින් තොරව නිදහසේ ක්‍රීඩාවේ නිරත වීමට අවකාශය සලසා දෙන්නේ නම් අනාගතයේ දක්ෂ ක්‍රිකට් තරු රැසක් බිහි කර ගැනීමේ අවස්ථාව අපට හිමිවනු ඇත.
ඒ මන්ද යත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය රැඳී පවතින්නේ මේ “ක්‍රිකට් උණ” වැළඳුණ තරුණ ගැටවරයින් මත නිසාය.
එසේම වීදි ක්‍රිකට් ක්‍රීඩාවට යොවුන් පිරිස් වැඩි වශයෙන් ආකර්ෂණය වන්නේ නම් එයින් ඇතිවන සාමාජයීය ධනාත්මක බලපෑම ඉතා ඉහළය.

ඒ අනුව බලන කල වීදි ක්‍රිකට් උප සංස්කෘතිය හරහා ශ්‍රී ලංකාව වැනි බහු ආගමික රටකට ලැබෙන ප්‍රතිලාභ මෙතෙකැයි කියා නිම කළ නොහැක. මේ නිසා අප සියලුදෙනා එක්ව සිදු කළ යුත්තේ මෙවැනි ක්‍රීඩා සංස්කෘතීන් තව තවත් දිරිගැන්වීමයි.. ඉන් ක්‍රීඩාවෙන් පමණක් නොව අනෙකුත් අංශ වලින් පවා එක් රටක් – එක් ජාතියක් වශයෙන් ඉදිරියට යෑමේ අවස්ථාව අපට හිමි වනු ඇත..
Image Credits: Getty Images
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















