FIBA ජාතික පැසිපන්දු ලීගය අද සිට

159
Sri Lanka set to host FIBA 3X3 Basketball Nations League 2017 Tournament

ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය (SLBF), ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය (FIBA) හා එක්ව  “2017 FIBA 3X3 ජාතික පැසිපන්දු ලීගය” ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැරසෙයි. මෙම තරගාවලිය යටතේ ලොව පුරා විවිධ රටවල් නියෝජනය කරමින් පැසිපන්දු කණ්ඩායම් රැසක් මෙරට දී තරග වැදීමට නියමිත ය.

‘ThePapare පැසිපන්දු ශූරතාවලිය’ අඛණ්ඩව දෙවන වසරටත්

ThePapare.com සහ පාසල් පැසිපන්දු සම්මේලනය එක්ව අඛණ්ඩව දෙවන …

2017 අගෝස්තු 18 (අද) සිට 20 දක්වා මෙම තරගාවලිය රත්මලාන සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ පැසිපන්දු පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබේ. චෙක් ජනරජය, නෙදර්ලන්තය, හංගේරියාව, ස්ලොවේනියාව, ජෝර්දානය, උගන්ඩාව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන  වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම් 3X3 Nations League සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වෙයි.

විස්සයි විස්ස ක්‍රිකට් තරගයකට සමාන තරග සැලසුමකින් ක්‍රියාත්මක වන 3X3 පැසිපන්දු තරගාවලිය මේ වන විට ලොව පුරා පැසිපන්දුලෝලීන් අතර ජනප්‍රිය තරගයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව මෙම  තරග ආකෘතිය තුළ විශේෂ වන්නේ වයස අවුරුදු 19න් පහළ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වන බ්‍රෙන්ට් තෙවකුමාර්  ලෝක ශ්‍රේණිගත කිරීම් අතර 11 වන ස්ථානය හිමිකරගෙන සිටීමයි. ලෝක ශ්‍රේණිගත කිරීම්වල  51 වන ස්ථානය ශ්‍රී ලංකාව හිමිකරගෙන සිටින අතර  කලාපීය ශ්‍රේණිගත කිරීම් අතර 10 වන ස්ථානය ශ්‍රී ලංකාව හිමිකරගෙන සිටියි.  තවද 23න් පහළ පිරිමි කණ්ඩායම  ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල  44 වන ස්ථානය හිමිකරගෙන සිටින අතර 23න් පහළ කාන්තා කණ්ඩායමට හිමිව ඇත්තේ 37 වන ස්ථානයයි.

මෙම තරගාවලියට අමතරව ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය (SLBF) විසින් 3X3 ආරාධිත පැසිපන්දු තරගාවලියක් සංවිධානය කරන අතර  වයස අවුරුදු 17න් පහළ දරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද පවත්වනු ලැබේ. මෙම වැඩමුළුවෙහි අරමුණ වන්නේ 3X3 පැසිපන්දු තරග මෙරට පාසල් සිසුන් අතර ප්‍රචලිත කරවීමයි. මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය (SLBF) මඟින් විවිධ අනුග්‍රාහකයින් මෙන්ම ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය (FIBA) දායකත්වය සපයයි.

මෙම තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ  (SLBF) මැදිහත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සම්මේලනයේ සභාපති බ්‍රිගේඩියර් ඉදුනිල් රණසිංහ  මහතා සඳහන් කළේ  ලොව පුරා  රටවල් 7ක කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අවස්ථාව හිමිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බවයි. මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම  සමස්ත ආසියානු පැසිපන්දු ක්ෂේත්‍රයම ජාත්‍යන්තර මට්ටමට  ඔසවා තැබීමක් ලෙස හැඳින්විය හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය. බොහෝ ක්‍රීඩාලෝලීන් 3X3 තරග ආකෘතිය වෙත ඉක්මනින් ආකර්ෂණය වන බවක් දක්නට ලැබෙන බවද එම ආකර්ෂණය  මෙරට පැසිපන්දු ක්‍රීඩාව තවදුරටත් ජාත්‍යන්තරව ඔසවා තැබීමට සමත්වනු ඇති බවත් හෙතෙම  පෙන්වා දුන්නේය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට