පාසල් රග්බි කණ්ඩායම් වලට පැනවූ තහනමෙන් නිසි අරමුණු ඉටුවෙයිද?

863

පාසල් රග්බි තරගාවලියේ ඇතිවූ ගැටුම් කිහිපයක් හේතුවෙන් ධර්මරාජ, ත්‍රිත්ව සහ කේරි විදුහල් වලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැනවූ තහනම පසුගිය සති අන්තය පුරාවටම විවිධ පුවත් මැවූ මාතෘකාවක් විය. රට පුරා රග්බි ලෝලීන් මවිතයට පත්කළ මේ තීරණ ගැනීමට මුලික වූ සිද්ධීන් පිළිබඳ විමසා බලන්නට ThePapare.com තීරණය කළා.

ත්‍රිත්ව විදුහලට පැනවූ මාස 6ක තහනම.

මෙම තීරණය කිසිවෙක් බලාපොරොත්තු නොවූ සිදුවීමක් ලෙස සඳහන් කළ හැකියි. අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය නිවේදනයට අනුව ත්‍රිත්ව විද්‍යාලීය 20න් පහල රග්බි කණ්ඩායමට ජූලි 01 වැනිදා සිට මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා තරග වලට සහභාගී විය නොහැකියි. ඒ සඳහා හේතුව ලෙස දක්වා ඇත්තේ 2016 මැයි 14 වැනිදා පල්ලෙකැලේදී පැවති 72වන බ්‍රැඩ්බි පලිහ තරගාවලියේ දෙවන අදියරේ ඇතිවූ ගැටුමයි.

සිදුවූයේ කුමක්ද….?

දෙවන අදියරෙන් පසු ත්‍යාග ප්‍රදානය අතරතුරදී ක්‍රීඩකයන් අතර ගැටුමක් හටගත්තේ ප්‍රධාන ආරාධිතයාද වේදිකාව මත සිටින අවස්තාවේදීමය. ක්‍රීඩකයන් අතර ඇතිවූ මේ ගැටුම පසුව ක්‍රීඩා ලෝලීන් දක්වා ව්‍යාප්ත විය.

අධ්‍යාපන අමාත්‍යංශ තීරණයේ ඇති ගැටළුකාරී තත්ත්වයන්.

  • අදාළ සිදුවීමෙන් දින 47කට පසු තීරණයකට එලඹීම.
  • මෙම තීරණය ගැනීමට මූලික වූ බ්‍රැඩ්බි පලිහ දෙවන අදියරේ තරගය පාසල් රග්බි ලීග් තරගාවලියට අදාළ නොවන තරගයක් වීමත් බොහෝ දෙනා මතු කළ ගැටලුකාරී තත්තවයක් මතු කිරීම.
  • මෙවන් විනය පරීක්ෂණයක් පැවැත්වීමේ සම්මත ක්‍රමවේදය වන්නේ අගතියට පත් පාර්ශ්වය ඇතුළු සියලු පාර්ශව කැඳවා කරුණු විමසීමෙන් අනතුරුව ඒ සඳහා පත්කළ විනය කමිටුවක් මගින් අවසන් තීරණයකට එළඹීමයි. නමුත් ත්‍රිත්ව විදුහල පවසන්නේ විනය පරීක්ෂණයකට කැඳවීමක් නොලැබුණු හෙයින් මෙවන් තහනමක් පැනවීමේ සූදානමක් පිළිබඳව හෝ තම විදුහල දැනුවත් ව නොසිටි බවයි.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ස්ථාවරය

මේ තරගය පාසල් ලීග් තරගාවලියට ඇතුලත් නොවුනත්, විනිසුරුවන් සහ තරගයේ අනෙකුත් නිලධාරීන් අප විසින් සපයන බැවින් මේ තරගයත් පාසල් රග්බි සංගමයට අදාළ වනවා.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් ඩෙන්සිල් ඩාලින් මහතා ThePapare.com වෙත පැවසුවේ එලෙසින්.

ත්‍රිත්ව විදුහලට තහනමක් පනවා තිබෙන්නේ තරගයේ සහ ක්‍රීඩාංගනයේ ආරක්ෂාව තහවුරු කිරීම සත්කාරක පාසලේ වගකීමක් නිසාවෙනුයි. නමුත් ත්‍රිත්ව විදුහල එම වගකීම ඉටු කර තිබුණේ නැහැඔහු වැඩිදුරටත් පැවසුවා.

ධර්මරාජ විදුහලට පැනවූ මාස 9ක තහනම.

මෙම තහනමට හේතුවන මුලික කරුණ වන්නේ  2016 ජූනි 18 වැනිදා මහනුවර බෝගම්බර පිටියේ පැවති ධර්මරාජ විද්‍යාලය සහ ශා. ජෝසප් විද්‍යාලය අතර පැවති තරගයේ අවසන භාගයේදි ක්‍රීඩකයන් අතර ඇතිවූ ගැටුමයි. ඉන් අනතුරුව ප්‍රේක්ෂකයන්ද ගැටුමට මැදිහත් වීම හේතුවෙන් තත්ත්වය තවත් උණුසුම් මුහුණුවරකට පත්විය.

සිදුවූයේ කුමක්ද?

තරගයේ ප්‍රධාන විනිසුරු අරුණ කුමාර ධර්මරාජ ක්‍රීඩකයෙක්ට කහ කාඩ්පතක් ලබාදුන්නේ ඔහුගේ නීති විරෝධී ක්‍රීඩා විලාශය (Dangerous Play) හේතුවෙන්. ඔහු පිටියෙන් ඉවත්ව යන විට ශා.ජෝසප් විද්‍යාලීය ක්‍රීඩකයෙකුට පහර දීමට උත්සාහ කළත් එය අසාර්ථක වන්නේ ජෝසප් විද්‍යාලීය ක්‍රීඩකයා උපක්‍ර‍මශීලිව එය වලක්වා ගන්නා නිසාවෙනි. එය දුටු විනිසුරුවරයා වහාම ඔහු ආපසු කැඳවූ අතර ධර්මරාජ නායකයාට දැනුම් දුන්නේ එම වරද සඳහා අදාළ ෆ්ලෑන්කර් ක්‍රීඩකයාට රතු කාඩ්පතක් ලබා දීමට කටයුතු කරන බවයි.

විනිසුරුගේ කැඳවීම අනුව ධර්මරාජ ෆ්ලෑන්කර් ක්‍රීඩකයා නැවත පිටියට පැමිණෙන අතර දෙපිලේම ක්‍රීඩකයන් අතර වචන හුවමාරුවක් සිදුවුණා. එහිදී ඔහු නැවතත් ශා.ජෝසප් ක්‍රීඩකයෙකුට පහර දුන් අතර ඉන් ඇතිවූ ගැටුමට සියලුම ක්‍රීඩකයන් (අතිරේක ක්‍රීඩකයන්ද ඇතුළුව) සම්බන්ධ වු අතර විශාල ගුටි බැට හුවමාරුවක් දක්වා එය ව්‍යාප්ත විය. මීට ලුණු ගම්මිරිස් එකතු කිරීමට උරණ වූ ප්‍රේක්ෂකයන්ද සම්මාදන් වීම නිසා තත්ත්වය පාලනය කිරීමට සිදුවුයේ පොලීසියේද මැදිහත්වීම ඇතිවයි.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය වහාම මේ පිලිබඳ කරුණු විමසීමක් සිදුකිරීමට තීරණය කරන අතර ධර්මරාජ විදුහල් පරිපාලනයද සිද්ධිය පිලිබඳ වහා පියවර ගන්නේ තම ප්‍රමුඛ රග්බි ක්‍රීඩකයන් 8 දෙනෙක්ට විනය කඩකිරීමේ චෝදනා මත තහනමක් පනවමිනි. එමෙන්ම ප්‍රධාන පුහුණුකරු රධික හෙට්ටිආරච්චිගේ සේවය වහාම අත්හිටුවන්නටද ඔවුන් පියවර ගනු ලැබීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ විනය පරීක්ෂණයෙන් පසු නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ ධර්මරාජ විද්‍යාලීය 20න් පහළ රග්බි කණ්ඩායම මාස 9ක තහනමකට සහ වසර 2ක පරිවාස කාලයකට යටත් කරන බවයි.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ස්ථාවරය.

මාස 9ක තහනම 2016 ජූලි 01 දින සිට 2017 මාර්තු 31 දින දක්වා ක්‍රියාත්මක වනු ඇති. පාසල් රග්බි සංගමයේ ලේකම්වරයා ThePapare.com වෙත පැවසුවේ ධර්මරාජ විද්‍යාලය මීළඟ පාසල් රග්බි තරගවාරයේදී ‘C’ කාණ්ඩය දක්වා පහතට දැමීමේ වැඩි අවස්ථාවක්ද පවතින බවයි.

ධර්මරාජ ප්‍රධාන රග්බි පුහුණුකරු ලෙස කටයුතු කළ රධික හෙට්ටිආරච්චිට මින් ඉදිරියේදී කිසිදු පාසලක රග්බි පුහුණු කිරීම තහනම් වනු ඇත.

වීඩියෝ දර්ශන මගින් අනාවරණ වී ඇති කරුණු අනුව ධර්මරාජ රග්බි කණ්ඩායම භාර ආචාර්යවරයාට, සහාය පුහුණුකරුට මෙන්ම භෞත චිකිත්සකවරයාටද තාවකාලික තරග තහනම් පනවා තිබේ.

ThePapare.com මේ පිලිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා පිලිබඳ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතාගෙන් විමසීමක් කළා.

මේ සිදුවීම් පිලිබඳ තීරණයක් ගැනීමේ වගකීම පාසල් රග්බි සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදුන්නා. තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන ලෙස අපි ශ්‍රී ලංකා ජාතික රග්බි සංගමයට සහ විනිසුරු සංගමයට ආරාධනා කළත් ඔවුන් කිසිවෙක් පැමිණියේ නැහැ

මෙරට පාසල් සම්බන්ධ සියලු තීරණ ගැනීමේ අයිතිය සහ වගකීම අධ්‍යාපන අමාත්‍යංශයට පැවරී තිබෙනවා. එබැවින් සියලු පාසල් මෙම විනය පරීක්ෂණයේ තීරණ ක්‍රියාත්මක කළ යුතු වනවා.

කෙසේවෙතත් ලෝක රග්බි ක්‍රීඩාවේ ක්‍රියාත්මක වන ක්‍රමවේදයට අනුව, යම් රටක රග්බි ක්‍රීඩාව පාලනය විය යුත්තේ ලෝක රග්බි සංගමයේ (IRB) පිළිගත් එරට ජාතික සංගමය මගිනුයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ එම අයිතිය ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය (SLRFU) ට හිමියි.

ලෝක රග්බි සංගම් නීති මාලාවේ 17 වන රෙගුලාසියට අනුව ක්‍රීඩකයෙකුට පනවන තරග තහනමක් ජාතික සංගමය යටතේ ක්‍රියාත්මක සියලුම ආකාරයේ රග්බි තරග සඳහා බලපැවැත්වෙනවා. (අන්තර් සමාජ හෝ වෙළඳ සේවා තරගද ඇතුලත්ව)

17 වන රෙගුලාසියේ 19:10 වගන්තිය අනුව තහනමක් ක්‍රියාත්මක කිරීම පිලිබඳ ලෝක රග්බි සංගමය පිළිගත් ක්‍රමවේදය මෙසේයි.111

17.19.10 ලෝක රග්බි සංගමයේ 17 වන රෙගුලාසිය අනුව ක්‍රීඩකයෙක්ට පැනවූ තරග තහනම ක්‍රියාත්මක වීමේදී…

(a) සියලු සංගම්, රග්බි පරිපාලන ආයතන සහ ඒවා යටතේ පරිපාලිත ආයතන සියල්ලක්ම පොදුවේ මෙම තහනම ක්‍රියාත්මක කළ යුතු අතර, තහනම ක්‍රියාත්මක කාලය තුළ, ඉහත කී ආයතන වලට සම්බන්ධ කිසිදු තරගයකට ක්‍රීඩා කිරීම (හෝ කිසිදු ආකාරයකින් සම්බන්ධ වීම) හෝ, තරග දිනයේදී පිටිය තුළ සිදුවන කිසිදු ක්‍රියාකාරකමකට සහභාගීවීම වරදකරු කරනු ලැබූ ක්‍රීඩකයාට තහනම් විය යුතුයි.

පාසල් රග්බි පිටියේ ඇතිවූ ගැටුම් පිලිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ විනය පරීක්ෂණයේ මෙන්ම අවසානයේ ගෙන ඇති තීරණ සම්බන්ධයෙන්ද අපැහැදිලි ස්ථාන ගණනාවක්ම පවතිනවා. එම තීරණයෙන් අදාළ ගැටලුවට නිසි පිළිතුර හෝ වරදකරුවන් සියල්ලන්ටම නිසි දඬුවම් ලැබුනාද යන්න ගැටළුවක්.

නමුත්, ක්‍රීඩාවට ආදරය කරන සැමදෙනාගේම බලාපොරොත්තුව වන්නේ, වරදට කවදා හෝ දඬුවමක් ලැබෙන බව තේරුම් ගැනීමට මෙම සිදුවීම ආදර්ශයක් කොටගෙන, ජයග්‍රහණය කරා යන ගමනේදී ක්‍රීඩාවේ ජීව ගුණයද රැක ගන්නා පාසල් ක්‍රීඩකයන් පිරිසක් ඉදිරියේදී බිහිවනු ඇති යන්නයි.

 තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට