ඩයලොග් රග්බි ලීගයේ 2013/14 තරඟ වාරයේ විජයග්‍රහණයේ පහස විඳි නාවික හමුදා ක්‍රීඩකයන්ට එතැන් සිට ඩයලොග් රග්බි කිරුළ වෙත ළඟාවන්නට අවස්ථාව නොලැබුණත්, වඩා ශක්තිමත්, වඩා වේගවත් සංචිතයක් සමඟින් මෙවර තරඟාවලියට පිවිසෙන ඔවුන්, අනෙකුත් කණ්ඩායම් අතර තරඟකාරී කණ්ඩායමක් සේ හැඳින්විය හැක.

නාවික හමුදා රග්බි පිටුවට පිවිසෙන්න

මෑත අතීතය.

නාවික හමුදා රග්බි බල ඇණියේ ශක්තිය අතින් බලන කල, පෙර තරඟ වාරයේදී ඔවුන්ගෙන් දිස්වූයේ ඊට කිසිසේත්ම නොසෑහෙන ක්‍රීඩා ශෛලියකි. සියුම් පරාජයකින් තරඟාවලිය ඇරඹූ ඔවුන් එතැන් සිට 2015/16 තරඟ වාරයේ සහභාගී වු තරඟ 14න් 7ක් පමණක් ජයග්‍රහණය කර පරාජිත මානසිකත්වයකින් පසුවිය.

පසුගිය ලිපි: පොලිස් කණ්ඩායම ප්‍රතිප්‍රහාරය සඳහා සීරුවෙන්

වඩාත් බලාපොරොත්තු තැබිය හැකි නවකයෙකු වූ ඔමල්ක ගුණරත්න නාවික හමුදාව විසින් කණ්ඩායමට ඇතුලත් කරගන්නට සමත් වුනු අතර පසුගිය තරඟ වාරයේදී තම පසුපෙල ස්ක්‍රම් දක්ෂතාවන් ප්‍රදර්ශනය කිරීමට ඔහුට හැකිවිය. කවදත් අඩුවෙන් කතාබහට ලක්වන ක්‍රීඩකයෙකු වන තිලිණ වීරසිංහ 2015/16 තරඟ වාරය තමා සන්තක කර ගනිමින් තරඟාවලියේ වැඩිම “ලකුණු ලබා ගත් ක්‍රීඩකයා” වෙමින් ලකුණු 146ක් වාර්තා කළේය.

තනි තනිව ක්‍රීඩකයන් කිහිපදෙනෙකු වරින්වර ඉදිරියට පැමිණියද, ශ්‍රී ලංකා රග්බි පිටියේ දැවැන්ත බල කණු වන මහනුවර, CR&FC සහ හැව්ලොක්ස් යන කණ්ඩායම් ඉදිරියේ නාවිකයන් සියළු දෙනාම පසුබැස්සේය. එම කණ්ඩායම් ත්‍රිත්වය ඉදිරියේ සහභාගී වූ තරඟ හයේදී එක ජයග්‍රහණයකින් සහ එක් සම තරඟයකින් පමණක් සෑහීමකට පත්වන්නට ඔවුනට සිදුවෙමින් ලීග් තරඟාවලි ලකුණු පුවරුවේ හතරවැන්නා ලෙස තරඟාවලිය නිමා කරමිනි.

සංචිතය.

අත්දැකීම් බහුල ක්‍රීඩකයින්.

පසුගිය තරඟාවලියේ ද නාවික හමුදා කණ්ඩායමේ ‘ෆ්ලෑන්කර්’ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ ධනුෂ්ක පෙරේරා, මෙවර පිටියේ විවෘත ස්ථානයන් වෙත දැඩි අවධානයෙන් පසුවනු ඇත. ජාත්‍යන්තර හා ජාතික තලයේ හසල අත්දැකීම් සහිත ඔහු කණ්ඩායම වෙනුවෙන් තම ප්‍රධානතම වගකීම හෙවත් “පන්දුව ධාවනයකට සුදානම් කිරීමේ මුල් හැරවුම” ලබා දෙනු ඇත.

නාවිකයන්ගේ ඉදිරිපෙල බලය හසුරවන්නේ කි.ග්‍රෑ.107ක බරකින් යුත් ‘ප්‍රොප්’ ක්‍රීඩක, එසේම කණ්ඩායමේ නායකයා ද වන රොෂාන් රණසිංහයි. වේගයෙන් ඇදී යන රුවල් ඔරුවක් සේ පිටිය ආක්‍රමණයට සුදානම්ව සිටින චානක චන්දිමාල්ට ‘ස්ක්‍රම් හාෆ්’ හි සිට සහය දෙන්නට, කණ්ඩායමේ කුඩාම සිරුර හිමි ක්‍රීඩක සුරංග පුෂ්පකුමාර ද සැදී පැහැදී සිටියි.

තිලිණ වීරසිංහට නම් පෙර වසරේ නැවතුණු තැනින් නැවත ඇරඹිය හැක්කේ පෙර වසරේ වැඩිම ලකුණු ගෙන එන්නා වූයේ ඔහුම බැවිනි. කෙසේවෙතත් පෙර වසරේ කෙතරම් දස්කම් දැක්වුවද ඔහුට ශ්‍රී ලංකා රග්බි වරම් නොලැබීම ගැන ඔහු පසුවන්නේ කනගාටුවෙන් විය යුතුය.

ලී කීගල් සහ දිනූෂ චතුරංග සැකැස්මේ පසුපස සිට ආක්‍රමණයේදී කණ්ඩායමට ප්‍රධාන සේවයක් ඉටු කරන අතරම ආරක්ෂණයේදී ද, නාවික කණ්ඩායමේ කීර්ති නාමය උදෙසා ශක්තිමත්ව පෙරට එනු ඇත.
නවකයින්.

ශ්‍රී ලංකා කණ්ඩායමට නවකයෙකු ලෙස ඇතුල් වූ බුද්ධිම ප්‍රියරන්ත, පෙර වසරේ අඩු ලුහුඬුකම් අමතක කර අන්තර් සමාජ රග්බි පිටියේ තම ආගමනය සටහන් කරන්නට උත්සුක වෙයි. ඔමල්කගෙන් ඇතිවූ හිඩැස පුරවන්නේ කි.ග්‍රෑ.120ක් බරැති හිටපු ශා. ජෝශප් ක්‍රීඩක ස්ටීවන් ග්‍රෙගරි ය. පාසල් ලීග් පිටියේ හරඹ දැක්වූ ඉසිපතනයේ ඉසුරු කෝන්ගහවත්ත සංචිතයට ඇතුලත් වීමත් සමඟ ඔහු හා කරට කර ක්‍රීඩා කරන්නට චානක චන්දිමාල් මඟ බලා සිටියි.

Dialog Rugby League Hub

පිටියෙන් එපිට කාර්යමණ්ඩලය.

නාවිකයන් සාර්ථකත්වය කරා මෙහෙයවනු වස් නැවත පුහුණුකරු ධූරයට පැමිණි මෝතිලාල් ගුණතිලක, තම තරඟ සැලසුම් තමාටම අවේණික ශෛලියෙන් මනාව සකස් කරමින් පවතියි. ක්‍රීඩකයන්ගේ ශක්තිය සහ ශාරීරික තත්වය ගැන මනා දැනුමක් සහිත ඔහු සමඟින් මෙවර තරඟාවලියේදී  වඩාත් ශක්තිමත් නාවික හමුදා කණ්ඩායමක් පිලිබඳ පෙර නිමිති පහල වී තිබේ.

ක්‍රීඩකයෙකු ලෙස තරඟ වාර කිහිපයකදී නාවික හමුදා පිල නියෝජනය කළ දේව් ආනන්ද් කණ්ඩායමේ පසුපෙල භාර පුහුණුකරුය.

දිගු කාලයක් කණ්ඩායමේ කළමනාකාරීත්වය දැරූ මේනක සුරංග, මේ වසරේදීද ඒ කාර්යට කරගසන්නට සුදානම්ය.

2016/17 තරඟ වාරය සඳහා නාවික හමුදා කණ්ඩායමේ බලාපොරොත්තු සහගත ක්‍රීඩකයන්.

තරඟාවලියේ වෙනසක් සිදුකළ හැකි සංචිතයක් සමඟින් තරඟාවලියට පිවිසෙන නාවික හමුදා කණ්ඩායම පෙර වසරට වඩා උසස් මට්ටමකින් තරඟාවලිය නිමකිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

2016/17 නාවික හමුදා රග්බි කණ්ඩායම

[a-team-showcase-vc ats_team_id=”2136265″]