භානුක, උඩවත්ත, චාමික එන්. සී. සී ශූරතාවය කරා මෙහෙයවයි

1759

ජාතික ක්‍රිකට් කණ්ඩායමට ජවසම්පන්න ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (8) සී. සී. සී. කණ්ඩායම හා එන්. සී. සී. කණ්ඩායම අතර කොළඹ පී. සරවනමුත්තු පිටියේ දී පැවැත්විය. මෙම තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලබා ගැනීමට එන්. සී. සී කණ්ඩායම සමත් විය.

මාලිංගගේ පන්දුකරණයෙන් එන්. සී. සී අවසන් සටනට; වීරයා වනිඳු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් පවත්වනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් …

කාසියේ වාසිය දිනාගත් සී. සී. සී කණ්ඩායම නායක අශාන් ප්‍රියන්ජන් පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදී එන්. සී. සී. කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පළමුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල හා භානුක රාජපක්ෂගේ සබඳතාවයට වැඩි ආයුෂ නොතිබුනේ, නුවන් තුෂාර එවූ පන්දුවක් හමුවේ එක් ලකුණක් ලබා සිටි දික්වැල්ල දැවී ගිය නිසාවෙනි.

ලකුණු 7කට කඩුලු 2ක් දැවී ගොස් තිබිය දී පිටියේ එක්වූ වමත් කසකරුවන් දෙපළක් වන භානුක හා මහේල උඩවත්ත තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 126ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් සී. සී. සී කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් ලබා දුන්හ.

4 පහර 6ක් හා යෝධ 6 පහර 5ක් සමඟින් සිය ඉනිම වර්ණවත් කර ගත් භානුක පන්දු 51ක් තුළ ලකුණු 79ක් ලබා ගත් අතර අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ උඩවත්ත පන්දු 50ක් තුළ ලකුණු 68ක් ලබා ගත්තේ 4 පහර 4ක් හා 6 පහර 3ක් එල්ල කරමිනි.

සී. සී. සී කණ්ඩායමේ ඩිල්ශාන් මුණවීර භානුකව දවා ගැනීමට සමත් වෙද්දී නුවන් තුෂාර විසින් උඩවත්තව දවා ගන්නා ලදි. අවසානයේ එන්. සී. සී කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 183ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී නුවන් තුෂාර සී. සී. සී කණ්ඩායම වෙනුවෙන් කඩුලු 4ක් දවා ගන්නා ලදි.

ලකුණු 184ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සී. සී. සී කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වන ඩිල්ශාන් මුණවීර හා සචිත් පතිරණ අතරින් ලකුණු 9ක් ලබා සිටි මුණවීරව දවා ගැනීමට ෆර්විස් මහරූෆ් සමත් විය.

ඉන් අනතුරුව වමතින් පිත්ත හසුරුවන සචිත් පතිරණ හා පිටියේ එක්වූ නායක අශාන් ප්‍රියන්ජන් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක අගනා සබඳතාවයක් ගොඩනැංවිය. සචිත් පතිරණ පන්දු 26ක් තුළ ලකුණු 47ක් ලබා ගත්තේ 4 පහර 3ක් හා 6 පහර 4ක් එල්ල කරමිනි.

නායක ප්‍රියන්ජන් 4 පහර දෙකක් හා එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 29කට දැවී ගිය පසුව අවසන් පූර්ව තරගයේ සිට සී. සී. සී කණ්ඩායම අවසන් සටනට ගෙන ආ වනිඳු හසරංග පිටියට පිවිසියේය.

ඔහු මෙම තරගයේ දී ද එන්. සී. සී කණ්ඩායමට අභියෝගයක් වෙමින් පන්දු 27ක් තුළ ලකුණු 42ක් ලබා ගත්තේ වේගවත් 4 පහර 2ක් හා දැවැන්ත 6 පහර 3ක් එල්ල කරමිනි. දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් සිටි වනිඳු දැවී යාමට පන්දු කිහිපයකට පෙර ලහිරු කුමාර එවූ නිපන්දුවක් වනිඳුගේ වමතේ ඉහළ කොටසේ වැදුණු අතර ඉන් පන්දු කිහිපයකට පසුව අපහසුතාවයෙන් සිටි වනිඳු දැවී යන ලදි. එම දැවී යාම තරගයේ හැරවුම් ලක්ෂය බවට පත්කරගත් සත්කාරක එන්. සී. සී කණ්ඩායම අවසානයේ ලකුණු 6ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය. දක්ෂ ලෙස පන්දු යැවූ  චාමික කරුණාරත්න එන්. සී. සී කණ්ඩායමේ ජය තහවුරු කිරීමට විශාල සවියක් වූයේ කඩුලු 4ක් දවා ගනිමිනි.

139 වන නිල් මහා සටනේ ජය කාට හිමිවෙයි ද?

මෙම තරග වාරය පුරාවට හොඳින් ලකුණු අතර සිටි කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායමේ ඉදිරිපෙළ …

එන්. සී. සී  – 183/7 (20): භානුක රාජපක්ෂ 79, මහේල උඩවත්ත 68, නුවන් තුෂාර 4/32.

සී. සී. සී  – 177 (19.3): සචිත් පතිරණ 47, වනිඳු හසරංග 42, අශාන් ප්‍රියන්ජන් 29, චාමික කරුණාරත්න 4/28.

මෙම අවසන් මහා තරගයේ දී චතුරංග ද සිල්වා (එන්. සී. සී) හා වනිඳු හසරංග (සී. සී. සී) යන සොහොයුරන් දෙදෙනා කණ්ඩායම් දෙකක් වෙනුවෙන් සටන් කළ අතර දක්ෂ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පන්දු යවන ආකාරය හා සමානවම පන්දු යවන ක්‍රීඩකයෙක් වන නුවන් තුෂාර යන දෙදෙනා ද කණ්ඩායම් දෙකේ එකිනෙකාට ප්‍රතිවිරුද්ධව සටන් කළහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<