උපුල් තරංග කොළඹ නියෝජනය කරමින් ගාල්ලට බැට දෙයි

1196
Upul Tharanga

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති මංගල තරගයේ දී වමත් ආරම්භක පිතිකරු උපුල් තරංග නොදැවී ශතකයක් ලබා ගනිමින් දැක්වූ දක්ෂතා හේතුවෙන් ලකුණු 90ක ජයක් වාර්තා කිරීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වුනා.

“SLC T20” ශූරයින්ටත්, අනුශූරයින්ටත් සුපිරි ත්‍යාගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “SLC T20” ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය…

ගාල්ලේ ඉපදුණ උපුල් තරංග අද තරගයට කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් මෙම දක්ෂතා දැක්වූ අතර ඔහුගෙන් පහර කෑමට ලක් වූයේ තමන්ගේ උපන් භූමිය නමින් වූ ගාල්ල කණ්ඩායම වීම ද විශේෂත්වයක්. උපුල් තරංග අද තරගයේ දී පන්දු 67කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 124ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සමඟින් හයේ පහර 11ක් ඇතුලත් වුනා.

කොළඹ සහ ගාල්ල අතර පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 5කට 197ක්. ඊට පිළිතුරු ලෙසින් ගාලු ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 107ක් පමණයි. ඒ අනුව තවත් පන්දු 4ක් ඉතිරිව තිබිය දී කොළඹ ක්‍රීඩකයෝ තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට වාසනාවන්ත වුවා.  

කොළඹ ඉනිමේ ආරම්භක කඩුලු 3 ලකුණු 34කට දැවී ගොස් අසීරු අවස්ථාවක සිටිය දී ෂෙහාන් ජයසූරිය සමඟ එක්වූ උපුල් තරංග ලකුණු පුවරුව 101ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා. ජයසූරිය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 22ක්. එම ලකුණු සංඛ්‍යාව පන්දු 22ක දී වාර්තා කළ අතර ඊට හතරේ පහර 2ක් ඇතුලත් වුනා.

ඊට අමතරව ජීවන් මෙන්ඩිස් ද ලකුණු අතරට පිවිසෙමින් පන්දු 13ක දී වේගවත් නොදැවුණ ලකුණු 30ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුනා.

විස්සයි විස්සේ වුන දේ ගැන ලසිත් මාලිංග කට අරියි

ඔහු සාම්ප්‍රදායෙන් පිට තමන්ගේ රටාවකටම පන්දු යවයි. සාමාන්‍ය පන්දු යවන්නෙකු මෙන්…

කොළඹ කණ්ඩායම නියෝජනය කළ නායක දිනේෂ් චන්දිමාල් (04), මහේල උඩවත්ත (09), සම්මු අශාන් (01) සහ චතුරංග ද සිල්වා (03) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කසුන් රාජිත සහ නිශාන් පීරිස් කඩුලු 2 බැගින් දවා ගත්තා.  

ලකුණු 198ක ඉලක්කගත ගාල්ල කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් වූ නිරෝෂන් දික්වැල්ල (01), කුසල් මෙන්ඩිස් (01), දිමුත් කරුණාරත්න (01) සහ ධනංජය ද සිල්වා (09) අඩු ලකුණුවලට තම කඩුලු පුද කර යෑම ඉනිමේ ආරම්භය කඩා වැටීමට හේතු වුනා.

එම අවස්ථාවේ දී කණ්ඩායම වෙනුවෙන් බර කරට ගත්තේ ඇන්ජලෝ පෙරේරා සහ අසේල ගුණරත්නයි. ඔවුන් දෙදෙනා අතරින් ඇන්ජලෝ පෙරේරා අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. පන්දු 35ක් පුරා පිටියේ රැඳී සිටි ඇන්ජලෝ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා.

අසේල ගුණරත්න රැස්කළ ලකුණු සංඛ්‍යාව 18ක්. ඔහු පන්දු 18ක් පිටියේ රැඳී සිටි අතර තම ඉනිමට එක් කර ගත්තේ එක් හතරේ පහරක් පමණයි. අනෙකුත් පිතිකරුවෝ ද අඩු ලකුණුවලට සීමා වෙද්දී, ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු 12ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තා. 

කොළඹ කණ්ඩායම වෙනුවෙන් ලහිරු මධුශංක ලකුණු 12කට කඩුලු 2ක් දවා ගත් අතර ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, අකිල දනංජය සහ කමිඳු මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්තා.

කොළඹ; කඩුලු 5ක් දැවී 197 (20.0): උපුල් තරංග නොදැවී 124, ෂෙහාන් ජයසූරිය 22, ජීවන් මෙන්ඩිස් නොදැවී 30, කසුන් රාජිත 2/38, නිශාන් පීරිස් 2/40

ගාල්ල; සියලුම දෙනා දැවී 107 (19.2): ඇන්ජලෝ පෙරේරා 54, අසේල ගුණරත්න 18, ලහිරු මධුශංක 2/12

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි 20 තරගාවලියේ සියලුම තරග ThePapare.com වෙබ් අඩවිය, ඩයලොග් TV නාලිකා අංක 123 හා ඩයලොග් MyTV හරහා සජීව ලෙස විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර තරගයේ උණුසුම් තොරතුරු සමඟින් යාවත්කාලීන වීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<