තරගාවලියේ පළමු මට්ටමේ තරග ආරම්භ කරමින් කොළඹ හෙන්ද්‍රි පේද්‍රිස් පැසිපන්දු පිටියේ තරග තුනක් පළමු දිනයේ පැවති අතර මෙම තරග අතරින් වෙළඳසේවා කණ්ඩායම හා ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම අතර පැවති තරගය කාගේත් අවදානය දිනා ගැනීමට සමත් විය.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

තරගාවලියේ පසුගිය ශූරයින් වූ වෙළඳසේවා කණ්ඩායම මෙවර ශූරතාවය දිනා ගැනීම සඳහා ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් ලෙස හැදින්විය හැක.

පිරිමි අංශයේ A කාණ්ඩයේ තරගයක් වූ මෙය ආරම්භයේ සිටම ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරන්නට සමත් වූයේ කණ්ඩායම් දෙකම උණුසුම් තරග රටාවක් අනුගමනය කිරීම හේතුවෙනි.

තරගයේ පළමු කාර්තුව නිමා වූයේ වෙළඳසේවා කණ්ඩායම ලකුණු 16-15ක් ලෙස ඉදිරියෙන් තබමිනි. තම ලකුණු පරතරය ලකුණු 4ක් දක්වා වැඩිකරගත් වෙළඳසේවා කණ්ඩායම පළමු අර්ධය නිමා කලේ ලකුණු 34-30ක් ලෙස පෙරමුණ ගනිමිනි.

තෙවන කාර්තුව තුල කණ්ඩායම් ද්විත්වයම ඉහල දස්කම් පෙන්නුම් කල අතර ලකුණු 15 බැගින් ලබා ගත්තේ කාර්තුව අවසානයේ දී ලකුණු පුවරුව ලකුණු 49-45ක් ලෙස සනිටුහන් කරමිනි.

තරගයේ තීරණාත්මක අවසන් කාර්තුව දෙපිලටම වැදගත් වූ අතර තරගය නිමාවීමට මිනිත්තු 6කට අසන්න කාලයක් තිබිය දී තරගයේ පෙරමුණ ගැනීමට ගම්පහ කණ්ඩායම සමත් වූයේ ක්‍රීඩාලෝලීන් මවිතයට පත් කරමිනි.

නමුත් වෙළඳසේවා කණ්ඩායමේ ක්‍රීඩක ක්ලින්ටන් ස්ටැලෝන් තම ලකුණු ලබා ගැනීම දියත් කරමින් ලකුණු 7ක් ලබා ගත්තේ කණ්ඩායමට තම දායකත්වය අවශ්‍යම මොහොතකයි.

කෙසේ වෙතත් තරගයේ අවසන් මිනිත්තුවේ තරගයේ ලකුණු තත්වය සම කිරීමට වෙළඳසේවා කණ්ඩායමට හැකිවුවත්, ඔවුන් අතින් සිදුවූ අඩු පාඩු වලින් ප්‍රයෝජනය ලබා ගත් ගම්පහ ක්‍රීඩකයින් ලකුණු 66-64ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූයේ තරගය නිමාවීමට තත්පර 19ක් පමණක් තිබියදීය.

තරගය ජය ගැනීමට හෝ අතිරේක කාලයට යොමු කිරීමේ වගකීම තම උරහිසට ගත් වෙළඳසේවා කණ්ඩායමේ ක්ලින්ටන් ස්ටැලෝන් තරගය අවසන් වීමට තත්පර 2ක් පමණක් තිබිය දී පන්දුව පැස තුලට යොමු කරමින් ලකුණු 3ක් ලබා ගත්තේ වෙළඳසේවා ජය තහවුරු කරමිනි.

ගම්පහ කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල ක්‍රීඩක ප්‍රගීත් පුෂ්පකුමාර ලකුණු 22ක් රැස් කිරීමට සමත් වූ අතර ෂේන් නිකි හා සන්කෙත් ජයරත්නගේ දක්ෂතා කැපිපෙනෙන්නට විය.

තරගයේ අවසන් ලකුණු සටහන 66-64ක් ලෙස දැක්විය.


කාන්තා අංශයේ පාසල් කණ්ඩායම හා වෙළඳසේවා කාන්තා කණ්ඩායම අතර තරගයක් පැවැත්වුණු අතර තරගය ආරම්භයේ සිටම තම අණසක පැතිරවීමට වෙළඳසේවා කණ්ඩායම සමත් විය.

දකුණු ආසියාවේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස හැදින්වෙන තර්ජනී ශිවලිංගම්ගේ දායකත්වය වෙළඳසේවා කණ්ඩායමට ලැබීම ඔවුන්ට මහත් පිටිවහලක් සේම ප්‍රතිවාදී පාසල් කණ්ඩායමට මහත් හිසරදයක් වූ බව පෙනෙන්නට විය.

කෙසේ වෙතත් තරගයේ පහසු ජයක් ලැබීමට වෙළඳ සේවා කණ්ඩායම සමත් වූ අතර ලකුණු තත්වය 71-31ක් ලෙස දැක්විය.


දිනයේ අවසන් තරගය වූ හම්බන්තොට කණ්ඩායම හා යුධ හමුදා කණ්ඩායම අතර තරගය ඉතා උණුසුම් තරගයක් වූ අතර මෙහිදී පෙරළිකාර ජයක් ලැබීමට යුධ හමුදා කණ්ඩායම සමත් වීම කැපී පෙනෙන්නට විය.

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය නිමා වූයේ ලකුණු 24-22ක් ලෙස හම්බන්තොට කණ්ඩායම ඉදිරියෙන් තබමිනි.

ශ්‍රී ලංකා පාසල් පිරිමි කණ්ඩායමේ මෙන්ම යුධ හමුදා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු වීම නිසා හම්බන්තොට කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක රොෂාන් රන්දිමගේ දායකත්වය තරගයේ පළමු අර්ධයේදීම කණ්ඩායමට නොලැබී යාම විශේෂ කරුණක් විය. එයට හේතු වූයේ මෙම තරගය පැවැත්වෙන අවස්ථාවේදීම පොලිස් පැසිපන්දු පිටියේ පාසල් කණ්ඩායම, කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව තරග වැදීමයි.

තරගයේ අවසන් කාර්තුව ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර යුධ හමුදා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක සංජය සෙනරත්ගේ ක්‍රීඩා විලාශය කැපී පෙනුණු අතර නිචුල ලියනගේ ඔහුට අගනා සහයක් ලබාදෙන ලදී. එසේම ගුවන් හමුදා කණ්ඩායමේ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය තරගය තුලම ඉස්මතු වී පෙන්නේන්නට විය.

තරගය අවසාන වුයේ 58-51ක් ලෙස යුධ හමුදා කණ්ඩායමට ජය ගෙන දෙමිනි.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට