ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව් දින නිල නොලත් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට සොනාල් දිනූෂ සමත් වුණා.
අද (13) Darwin හී Marrara Oval ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 272ක් ලබා ගත් අතර ඉන් ලකුණු 105ක් ම ලබා ගත්තේ 24 වැනි වියේ පසුවෙන වමත් පිතිකරු සොනාල් දිනූෂ විසිනුයි.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම
පසිඳු සූරියබණ්ඩාර (නායක), ලහිරු උදාර, කමිල් මිෂාර, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, සොනාල් දිනූෂ, විශාද් රන්දික (කඩුලු රකින්නා), ඉසිත විජේසුන්දර, ප්‍රමෝද් මදුශාන්, මොහොමඩ් ශිරාස් සහ නිශාන් පීරිස්.
ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම
Jason Sangha (නායක), Liam Scott, Josh Philippe (කඩුලු රකින්නා), Jake Weatherald, Campbell Kellaway, Nathan McSweeney, Kurtis Patterson, Mitchell Perry, Zanden Jeh, Henry Thornton සහ Louis Smith.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ ලහිරු උදාර සහ කමිල් මිෂාර විසිනුයි. ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටිමට සිදු වෙන්නේ නැහැ. ඉනිමේ 10 වැනි පන්දු වාරයේ දී කමිල් මිෂාර ලකුණු 12කට දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 18 රැඳී තිබුණා.
අනතුරු ව ඊට පසුව යැවුණ 3 වැනි පන්දුවේ දී ලහිරු උදාර ගේ ඉනිම ද නිමා වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 33කට මුහුණ දෙමින් ලකුණු 5ක් ලබා සිටියා.
ඒ වෙද්දී නුවනිඳු ප්‍රනාන්දු පිටියේ එක් අන්තයක නොදැවී රැඳී සිටි අතර ඔහුට නායක පසිඳු සූරියබණ්ඩාර එක් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූවා. එහි දී නුවනිඳු ප්‍රනාන්දු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටිය දී දැවී යන ඔහු ගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 6 වැනි පන්දුවේ දී පසිඳු සූරියබණ්ඩාර ද තම ඉනිම අතහැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 71කට මුහුණ දෙමින් ලකුණු 20ක් ලබා සිටියා.
- ශ්‍රී ලංකා ක්රිකට් කණ්ඩායම්වලට ප්‍රහාරාත්මක පිතිකරණය පිළිබඳ පුහුණුවක්
- ශ්‍රී ලංකාව වනිඳු නොමැතිව T20 සටනට පිවිසෙයි
- සිතාර සහ රමේෂ්ගෙන් ද්විත්ව ශතක සබඳතාවයක්
- ඕස්ට්‍රේලියාවට යන ශ්‍රී ලංකා A සංචිත නම් කරයි
- සොනාල් දිනූෂට ටෙස්ට් වරම්
අනතුරු ව පවන් රත්නායක ද ලකුණකට දැවී යන අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම දැක් වුණේ කඩුලු 5ක් දැවී ලකුණු 89ක් ලෙසයි. එතැන් සිට ශ්‍රී ලංකා ඉනිමේ සියලු වගකීම් තම කරමතට ගත් සොනාල් දිනූෂ ඉනිම අවසන් වන විට පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 105ක් ලබා ගත්තා. මෙම ඉනිම ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.
ඔහු කඩුල්ලේ රැඳී සිටිය දී විශාද් රන්දික සමඟ ලකුණු 39ක ද සහ ඉසිත විජේසුන්දර හා එක් ව ලකුණු 75ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී විශාද් රන්දික පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද සහ ඉසිත විජේසුන්දර පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගන්නවා.
ඔවුන් ගේ දැවී යෑම්වලින් අනතුරු ව ද සොනාල් දිනූෂ තම වගකීම නිවැරදි ව හඳුනා ගනිමින් පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාවන් තමා වෙත ලබා ගත්තා. ඒ අනුව ප්‍රමෝද් මදුශාන් (8) හා එක් ව 8 වැනි කඩුල්ලට ලකුණු 35ක් ද, මොහොමඩ් ශිරාස් (1) හා එක් ව 9 වැනි කඩුල්ලට ලකුණු 20ක් ද සහ නිශාන් පීරිස් (1) හා එක් ව 10 වැනි කඩුල්ලට ලකුණු 17ක් ද තම කණ්ඩායමට එක් කිරීමට ඔහු සමත් වෙනවා.
කඩුලු දවා ගැනීමේ දී Henry Thornton, Liam Scott සහ Nathan McSweeney කඩුලු ද්විත්වය බැගින් ද, Campbell Kellaway, Mitchell Perry, Louis Smith සහ Zanden Jeh විසින් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 272 (82.0) නුවනිඳු ප්‍රනාන්දු 34, පසිඳු සූරියබණ්ඩාර 20, සොනාල් දිනූෂ නොදැවී 105, විශාද් රන්දික 27, ඉසිත විජේසුන්දර 33, Liam Scott 2/27, Henry Thornton 2/31, Nathan McSweeney 2/51
මෙම තරගය හෙට (14) දෙවැනි දිනයටත් පැවැත්වේ.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ උණුසුම් තරග තොරතුරු මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















