අවසන් මොහොතේ ගිලිහුණු ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය

528
Solidatary Cup 2016 Sri Lanka vs Macau report

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු සහයෝගිතා කුසලානයේ මංගල තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තෙවන තරඟය අද දින (9) මැකාවු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.00ට ආරම්භ වූ අතර ගෝල 1-1ක් ලෙස සමව තරගය නිමාවට පත්විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාව අසරණ කල මොන්ගෝලියානු දඬුවම් පහර

ප්‍රථම අර්ධයේදී ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ශ්‍රී ලාංකික පාපන්දු ලෝලීන්ගෙන් ගිලිහුණු බලාපොරොත්තු වලට නැවත පණ දෙන්නට සමත් වූ නමුත් දෙවන අර්ධයේදී W. H. චෝයි විසින් ජයග්‍රහණය ලැබීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි කළේය.

තමන් සහභාගී වූ ප්‍රථම තරඟ දෙකෙන් අවාසනාවන්ත ලෙස පරාජය වීමට සිදුවීම නිසා උපන් ගෙයිම තරඟාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකාවට සිදුවිය. එහෙත් පාපන්දු ක්‍රීඩාව සඳහා ඇතිකරගත් ධනාත්මක ආකල්ප ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සිත් තුළ නොසිදී පවත්නා බව ප්‍රකට කරමින්, තමාගෙන් පෙර සිදුවූ බොහෝ වැරදි නිවැරදි කරගනිමින් ඔවුන් මේ තරඟයට එක්වීම කැපිපෙනුනි.

තරඟය ආරම්භ වී මිනිත්තු 5ක් ගතවන්නටත් පෙර මොහොමඩ් රිෆ්නාස් විසින් ලබා දුන් අගනා පන්දු යොමුවක් ගෝලයක් බවට පරිවර්තනය කරන්නට කවිඳු ඉෂාන් සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙලට ආත්ම විශ්වාසය ගෙන දීමට ඉන් හැකිවුණු අතර එතැන් සිට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ඉතා හොඳ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කෙරිණි. තරඟාවලියට පෙර ශ්‍රී ලංකා පුහුණුකරු ඩඩ්ලි ස්ටෙයින්වෝල් සඳහන් කළ පරිදි පන්දුව තමන් යටතේ තබාගෙන ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මේ තරඟයේදී හැකිවිය.

ප්‍රථම අර්ධය තුල කැපීපෙනුණු සිදුවීමක් නම් මැකාවු කණ්ඩායමේ මැදපෙල සිට පසුපෙල දක්වා වූ ක්‍රීඩකයන්ගේ පන්දුව පාලනය කිරීමේ දුර්වලතාවයි. ඒ දුර්වලකම නිසා 9වන මිනිත්තුවේදී ශ්‍රී ලංකාවට තවත් ගෝලයක් වෙත යෑමට අනගි අවස්ථාවක් උදාවූවත් එය ව්‍යර්ථ විය.තරඟයේ ප්‍රථම මිනිත්තු 20 පුරාම පාහේ පන්දු පාලනය සිදුකළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසිනි.

18වන මිනිත්තුවේදී ලැබුණු කෝණ අවස්ථාවකදී අසිකුර් රහුමාන්ට පන්දුව ලැබුණත් ඔහුගේ පහර මැකාවු ආරක්ෂකයන් විසින් නවතා දැමිණි. 20වන මිනිත්තුව වන විටත් ශ්‍රී ලංකා ගෝලය වෙත කිසිදු පහරක් එල්ල නොවීය. එහෙත් සර්වාන් ජොහාර්ගේ පහරක් 36වන මිනිත්තුවේදීත් ප්‍රතිවාදී ගෝල රකින්නා අතින් වැලැක්විණි. ප්‍රථම අර්ධය වෙනුවෙන් මිනිත්තු දෙකක ආදේශක කාලයක් විනිසුරු විසින් ලබා දුන් අතර ප්‍රථම අර්ධය නිමාවේදී ශ්‍රී ලංකාව 1-0ක් ලෙස පසුවූයේ ඉදිරියෙනි.

ප්‍රථම අර්ධය: ශ්‍රී ලංකාව 01-00 මැකාවු

දෙවන අර්ධය අරඹමින් පිටියට පිවිසි මැකාවු කණ්ඩායමේ සෑහෙන වෙනසක් දැකිය හැකි විය. ඔවුන් පෙරට වඩා පාලනයකින් යුතුව හා විශ්වාසයකින් යුතුව ක්‍රීඩා කළේය. තරඟයේ 65වන මිනිත්තුවේදී ශ්‍රී ලංකාව හිමිකරගත් නිදහස් පහර උපයෝගී කොට ගනිමින් සංඛ විජේසිරි විසින් හිසින් එල්ල කරන ලද පහර ප්‍රතිවාදී ගෝල රකින්නාගේ අතින් නැවතුණත් පන්දුව නිදැල්ලේ ඉදිරියට ඇදී ගියේය. ඒ පන්දුව වෙත අසිකුර් රහුමාන්ගෙන් වේගවත් පහරක් එල්ල වූ නමුත් අවාසනාවන්ත ලෙස එය දැලේ වම් කණුවේ වැදී නැවත ඉදිරියට පැමිණි අතර මැකාවු ක්‍රීඩකයෙකු එය දැලෙන් ඈතට එල්ල කරන ලද්දේය.

ශ්‍රී ලංකාවේ මොහොමඩ් රිෆ්නාස් හට 69වන මිනිත්තුවේදී කහ කාඩ්පත නිකුත්විය. ඒ සමඟ යම් නිද්‍රාශීලී ආරක්ෂණ පිලිවෙතක් අනුගමනය කළ ශ්‍රී ලංකා ආරක්ෂකයන් අතුරින් පහසුවෙන් පන්දුව ඉදිරියට ගෙන ආ මැකාවු ක්‍රීඩකයින් පන්දු හුවමාරු 3ක් පමණක් වැය කරමින් ඉදිරිපෙල ක්‍රීඩක W. H. චෝයිට ලබා දුන් අතර, නිදහසේ එය ගෝලය තුළට එල්ල කිරීමේ හැකියාව ඔහුට ලැබිණි. ඒත් සමඟ මැකාවු කණ්ඩායම 1-1ක් ලෙස තරඟය සමකරගත්තේය.

එතැන් සිට යළි තරඟයේ පාලනය සියතට ගන්නට ශ්‍රී ලංකාව බොහෝ උත්සාහයන් දැරූ නමුත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. 88 වන මිනිත්තුවේදී වටිනා අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන් අතින් ගිලිහුණේ උත්සාහයන් දෙකක්ම සිදුකිරීමෙන් පසුය. දෙවන අර්ධය අවසානයේ මිනිත්තු 4ක ආදේශ කාලයක් දෙපිලට හිමිවූ නමුත් එතැන් සිට දෙපිලම ගෝල ලබා ගන්නට අසමත් විය.

ඒ සමඟින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් පිළිබඳ තිබූ අවසන් සිතුවිල්ලත් අත්හැරීමට සිදුවිය.

සම්පුර්ණ කාලය: ශ්‍රී ලංකාව 1-1 මැකාවු

ගෝල රැස්කළ ක්‍රීඩකයන් – කවිඳු ඉෂාන් 4′ (ශ්‍රී ලංකාව), W.H.චෝයි 85′ (මැකාවු)

කහ කාඩ්පත් – මොහොමඩ් රිෆ්නාස් 69′ – (ශ්‍රී ලංකාව)

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට