ප්‍රවීනයන්ගේ ශූරතාව පොලිස් දෙපාර්තමේන්තුවට

SLSS Veterans Div I Annual T20 Cricket Tournament 2025

212

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ රාජ්‍ය සේවා ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායම සමත් වූ අතර එහි අනුශූරතාව ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම සතු වුණා.  

රත්මලාන වාරිමාර්ග දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේ දී (4) අවසන් වූ මෙම තරගයෙන් පොලිස් දෙපාර්තමේන්තු ප්‍රවීන ක්‍රීඩකයෝ ලකුණු 33ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම ශූරතාවට හිමිකම් කියනවා.

මේ අතර තරගාවලියේ තෙවැනි ස්ථානය හිමි කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැති ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රවීනයන්ගේ කණ්ඩායම සහ සෞඛ්‍ය අමාත්‍යාංශ කණ්ඩායම අතර තරගයෙන් ජය ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රවීනයන්ගේ කණ්ඩායම සමත් වෙනවා.  

ශූරතා කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පොලිස් දෙපාර්තමේන්තු ප්‍රවීනයන්ගේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 139ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රවීනයන්ගේ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 106ක් පමණයි.  

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු ප්‍රවීනයන්ගේ කණ්ඩායම 

ධම්මික රාජපක්ෂ (නායක), අජිත් පෙරේරා, සංජීව ප්‍රියංජිත්, මහේෂ් ප්‍රියදර්ශන, චමිල මහේෂ්, සුපුන් නිර්මල (කඩුලු රකින්නා), ටර්නි රංජන්, කාංචන රණසිංහ, දුමින්ද ඉන්දික විතානගේ, චාමර සිල්වා සහ අනුශ්ක රාමනායක. 

 

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රවීනයන්ගේ කණ්ඩායම 

චමින්ද අල්විස් (නායක), සම්පත් ප්‍රේමචන්ද්‍ර, ටී. ඩබ්ලිව්. පී. සිරිවර්ධන, එස්. කවිසේකර, නලින් ශ්‍රියංකර, සමුද්‍ර රාජපක්ෂ, ජනක සම්පත්, හේමන්ත පෙරේරා, පී. ආර්. සිල්වා, සුනෙත් රූපසිංහ (කඩුලු රකින්නා) සහ ප්‍රසාද් සුබසිංහ. 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පොලිස් දෙපාර්තමේන්තු ප්‍රවීනයන්ගේ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ කාංචන රණසිංහ. ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව සුපුන් නිර්මල පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 54ක දී ලකුණු 66ක සබඳතාවක් එක් කරන අතර ඔවුන් දෙදෙනාට අමතර ව ටර්නි රංගන් පන්දු 18කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ද සහ මහේෂ් ප්‍රියදර්ශන පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී පී. ආර්. සිල්වා සහ ප්‍රසාද් සුබසිංහ කඩුලු ද්විත්වය බැගින් ද, චමින්ද අල්විස් සහ සමුද්‍ර රාජපක්ෂ කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බන්ධනාගාර දෙපාර්තමේන්තු ක්‍රීඩකයන්ගේ ඉනිමේ පළමු කඩුලු ද්විත්වය පළමු පන්දුවාරය තුළ දී දවා ගැනීමට අනුශ්ක රාමනායක සමත් වූ අතර ඔහු තරගය අවසන් වන විට ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.  

ඊට අමතර ව චාමර සිල්වා ලකුණු 19කට කඩුලු 2ක් ද සහ මහේෂ් ප්‍රියදර්ශන කඩුල්ලක් ද දවා ගත්තා.  

ප්‍රතිවාදීන් ඒ ලෙසින් දක්ෂතා දක්වද්දී බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ එස්. කවිසේකර. ඔහු එම ඉනිම අවසන් වන විට පන්දු 46කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැති ව නොදැවී ලකුණු 33ක් ලබා සිටියා. ඊට අමතර ව පී. ආර්. සිල්වා පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • පොලිස් දෙපාර්තමේන්තුප්‍රවීනයන්ගේ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 139 (20.0) සුපුන් නිර්මල 31, කාංචන රණසිංහ නොදැවී 36, ප්‍රසාද් සුබසිංහ 2/26, පී. ආර්. සිල්වා 2/25 
  • බන්ධනාගාර දෙපාර්තමේන්තුප්‍රවීනයන්ගේ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 106 (20.0) එස්. කවිසේකර නොදැවී 20, පී. ආර්. සිල්වා 20, අනුශ්ක රාමනායක 3/17, චාමර සිල්වා 2/19 

පොලිස් දෙපාර්තමේන්තු ප්‍රවීනයන්ගේ කණ්ඩායමට ලකුණු 33ක ජයක්.  

තෙවැනි ස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රවීනයන්ට

මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා සහභාගී වූයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රවීනයන්ගේ කණ්ඩායම සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රවීනයන්ගේ කණඩායමයි.  

රත්මලාන වාරිමාර්ග ක්‍රීඩාංගණයේ දී (04) පෙරවරුවේ පැවැති එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රවීන්ගේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 4ක් දැවී ලකුණු 122ක් ලබා ගත් අතර පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රවීනයන්ගේ කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී තවත් පන්දු 49ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.  

දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රවීනයන්ගේ කණ්ඩායම  

අසංක ජයවික්‍රම (නායක), අමරජීව සමන්නාත්, නුවන් රත්නායක, සුදිල ක්‍රිශාන්ත, සජිත් වික්‍රමසිංහ, චමිල ඩයස්, ලසිත සසංක, සිනෙත් ජයකොඩි, සුමේධ පලිහවඩන, දමින්ද මලියරත්න (කඩුලු රකින්නා), නුවන් විජේරත්න. 

 

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රවීනයන්ගේ කණ්ඩායම  

චන්දන ධනපාල (නායක), සිතුම් තරංග, නලින් අතපත්තු, රාමක්‍රිෂ්ණන් සුමන් (කඩුලු රකින්නා), කසුන් මිසෝ, රුබින් දම්මික, ක්‍රිශාන්ත පුෂ්පකුමාර, මංජුල ප්‍රදීප් කුමාර, චමින්ද ප්‍රසන්න, සමුද්‍ර දිනන්ත සහ නිදර්ශන කන්නංගර. 

පළමුවෙන්ප න්දුවට පහර දීමට පිටියට පිවිසි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රවීනයන්ගේ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක අසංක ජයවික්‍රම. ඔහු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව සජිත් වික්‍රමසිංහ පන්දු 24කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද සහ සුදිල ක්‍රිශාන්ත පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී චමින්ද ප්‍රසන්න, නිදර්ශන කන්නංගර, කසුන් මිසෝ සහ නලින් අතපත්තු කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සෞඛ්‍ය අමාත්‍යාංශ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නලින් අතපත්තු. ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව නායක චන්දන ධනපාල පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී නුවන් විජේරත්න සහ චමිල ඩයස් කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • දුම්රිය දෙපාර්තමේන්තුප්‍රවීනයන්ගේ කණ්ඩායම – කඩුලු 4ක් දැවී 122 (20.0) අසංක ජයවික්‍රම 44, සුදිල ක්‍රීශාන්ත 22, සජිත් වික්‍රමසිංහ නොදැවී 24, චමින්ද ප්‍රසන්න 1/15 
  • සෞඛ්‍ය අමාත්‍යාංශප්‍රවීනයන්ගේ කණ්ඩායම – කඩුලු 2ක් දැවී 124 (11.5) චන්දන ධනපාල 36, නලින් අතපත්තු නොදැවී 58, රාමක්‍රිෂ්ණන් සුමන් නොදැවී 15, නුවන් විජේරත්න 1/20 

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රවීනයන්ගේ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<