මහානාම විද්‍යාලය අවසන් මහා තරගයට

SLSCA U19 Division I Tier A Tournament 2025

44
SLSCA U19 Division I Tier A Tournament 2025

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ලබා ගනිමින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත් වූවා.

කටුනායක වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (15) පැවැති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ කොළඹ රාජකීය විද්‍යාලයයි.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 32කට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ මහානාම විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී රාජකීය විද්‍යාලය සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම ලකුණු 117කට සීමා කිරීමට මහානාම විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වෙනවා.

තරගාවලියේ අපරාජිතයන් සේ සිටිමින් මෙම තරගය දක්වා පැමිණි මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයෝ ප්‍රතිවාදී ඉලක්කය පන්දු 66ක් පමණක් වැය කරමින් කඩුල්ලක් දැවී සපුරා ගත්තා.

එම ඉනිමේ දී ආරම්භක පිතිකරු නායක දුල්නිත් සිගේරා පන්දු 33කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 74ක් ලබා ගත්තා. ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් ද එක් කිරීමට ඔහු සමත් වෙනවා.

ඊට අමතර ව අනෙක් ආරම්භක පිතිකරු සිනෙත් වීරරත්න පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ලට ලකුණු 108ක් ලබා ගන්නා ලද අතර ඔවුන්ගේ සබඳතාව බිඳී යන්නේ සිනෙත් වීරරත්න දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙමිනුයි.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 34ක් තුළ දැවී යන අතර ඊට පසුව කඩුල්ලේ දී පන්දු 69ක දී ලකුණු 49ක සබඳතාවක් එක් කිරීමට රමිරු පෙරේරා සහ උදන්ත ගංගෙවත්ත සමත් වෙනවා.

එහි දී රමිරු පෙරේරා පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත් අතර උදන්ත ගංගෙවත්ත පන්දු 57කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

ඊට අමතර ව හිමරු දේශාන් ද සිල්වා ලකුණු18ක්, විමත් දින්සර ලකුණු 15ක් සහ නායක රෙහාන් පීරිස් ලකුණු 11ක් ලෙසින් ලබා ගත්ත අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට හැකි වෙන්නේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී දුල්නිත් සිගේරා සහ සිතුම් විහඟ කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ගීත් සඳරුවන්, සනුල් වීරරත්න සහ වෙනුර කවීත්‍ර කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 117 (32.0) රමිරු පෙරේරා 29, උදන්ත ගංගෙවත්ත 28, හිමරු දේශාන් ද සිල්වා 18, දුල්නිත් සිගේරා 2/18, සිතුම් විහඟ 2/23

 

මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුල්ලක් දැවී 118 (10.5) සිනෙත් වීරරත්න 35, දුල්නිත් සිගේරා නොදැවී 74

කොළඹ මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<