රිච්මන්ඩ් පරාජය කළ මහානාමයන් Tier A ශූරයන් වෙයි

SLSCA U19 Division I Tier A Tournament 2025

173
SLSCA U19 Division I Tier A Tournament 2025

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පරාජය කළ කොළඹ මහානාම විද්‍යාලය 2025 වසරේ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩයේ ශූරතාව දිනා ගත්තා.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය අද (03) මග්ගොන Surrey Village ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූවා. එහි දී කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 109ක් පමණයි. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහානාම විද්‍යාලය කඩුලු 6ක් පමණක් දැවී 110ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණ කරනවා.

මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

දුල්නිත් සිගේරා (නායක), සිනෙත් වීරරත්න, වෙනුර කවීත්‍ර, චාමික හීනටිගල, සනුල් වීරරත්න, යශේන් ගුණතිලක, ඒශාන් විතානගේ (කඩුලු රකින්නා), සිතුම් විහඟ, ගීත් සඳරුවන්, ගිමන්ත දිසානායක සහ යෙන්සිත ගුණසේකර.

රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

බෙවින් ජයවර්ධන (නායක සහ කඩුලු රකින්නා), අමීෂ රසාංජන, රවිනු රන්දිනු, රිසිනු රූපසිංහ, පුනාල් හංසජිත්, ටෙනුෂ නිම්සර, නෙතුජ බාෂිත, මිනග ආරියදාස, නෙත්සර ආකාශ්, හිරුක ආකාශ්, හිරුක අකලංක සහ තෙනුර ඩයස්.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලයීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ රිසිනු රූපසිංහ. ඔහු පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා. ඊට අමතර ව රිච්මන්ඩ් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ටෙනුෂ නිම්සර. ඔහු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.

ඔවුන්ගේ ඉනිමේ අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට මහානාම පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව ඔවුන් අතුරින් වෙනුර කවීත්‍ර, චාමික හීනටිගල, දුල්නිත් සිගේරා සහ ගීමන්ත දිසානායක කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා. ඊට අමතර ව ගීත් සඳරුවන් සහ සිතුම් විහඟ අතරේ ද කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහානාම ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සිනෙත් වීරරත්න සහ දුල්නිත් සිගේරා සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 47ක දී ලකුණු 40ක් එක් කරනවා.

එහි දී සිනෙත් වීරරත්න පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ද සහ දුල්නිත් සිගේරා පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව චාමික හීනටිගල ද පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී නෙත්සර ආකාශ් ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නෙතුජ බාෂිත කඩුලු ද්විත්වයක් ද සහ මිනග ආරියදාස කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– සියලුම දෙනා දැවී 109 (40.3) රිසිනු රූපසිංහ 41, ටෙනුෂ නිම්සර 16, දුල්නිත් සිගේරා 2/19, චාමික හීනටිගල 2/14, වෙනුර කවීත්‍ර 2/12, ගිමන්ත දිසානායක 2/23
  • මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– කඩුලු 6ක් දැවී 110 (19.5)සිනෙත් වීරරත්න 30, දුල්නිත් සිගේරා 22, චාමික හීනටිගල 17, නෙතුජ බාෂිත 2/15, නෙත්සර ආකාශ් 3/28

මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

මෙම තරගයේ උණුසුම් අවස්ථාවන් ThePapare.com, ThePapare 1 (Dialog TV චැනල් 62) සහ Dialog ViU app මඟින් නැරඹිය හැකියි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<