Greens ක්‍රීඩකයෝ තුන් වැනි ජයත් ලබයි

SLC T20 League 2025

145

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන විස්සයි විස්ස League ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සිව් වැනි තරගයෙන් ලකුණු 72ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Greens ක්‍රීඩකයෝ අද (11) සමත් වුණා. ඒ අනුව ඔවුන් මෙම තරගාවලියේ මේ දක්වා සහභාගී වූ තරග ත්‍රිත්වයම ජයග්‍රහණ කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදියෙන් ම සිටිනවා.

කොළඹ SSC පිටියේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Blues කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Greens කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 158ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Blues ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 86ක් පමණයි. ඔවුන්ගේ ඉනිම තවත් පන්දුවාර 5ක් ද ඉතිරි ව තිබිය දී අවසන් වෙනවා.

Team Greens

 

කමිඳු මෙන්ඩිස් (නායක), කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), භානුක රාජපක්ෂ, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, චාමික කරුණාරත්න, දුශාන් හේමන්ත, ට්‍රෙවින් මැතිව්, නුවන් තුෂාර සහ ප්‍රමෝද් මදුශාන්.

Team Blues

 

දුනිත් වෙල්ලාලගේ (නායක), නිශාන් මදුශ්ක, විශේන් හැළඹගේ, කුසල් පෙරේරා (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, දසුන් ශානක, රවිඳු ප්‍රනාන්දු, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මදුශංක.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Greens කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක නොවූවත් නායක කමිඳු මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 82ක් ලබා ගනිමින් තම කණ්ඩායමට ගෞරවනීය ලකුණු පුවරුවක් ගොඩ නැගුවා.

ඔවුන් දෙදෙනා එම සබඳතාවයට එක් වන විට Greens ඉනිම දැක් වුණේ කඩුලු 5ක් දැවී ලකුණු 57ක් ලෙසයි. කමිඳු මෙන්ඩිස් පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.

ඉනිම අවසන් වන විට චාමික කරුණාරත්න පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා සිටියා.

ඔවුන්ගේ ඉනිමට ඊට පෙර භානුක රාජපක්ෂ පන්දු 10ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද සහ සදීර සමරවික්‍රම පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ද එක් කර තිබුණා.

කඩුලු දවා ගැනීමේ දී අකිල ධනංජය සහ ඩිල්ශාන් මදුශංක කඩුලු ද්විත්වය බැගින් ද සහ අසිත ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිස Blues ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 16ක් වෙද්දී දැවී ගිය අතර ඉන් අනතුරු ව පිටියේ රැඳී සිටි කුසල් පෙරේරා ද ආබාධයක් හේතුවෙන් තාවකාලිකව පිටියෙන් ඉවත් වෙනවා. ඒ වෙද්දී ලකුණු පුවරුව 26ක් ව තිබූ අතර කුසල් පෙරේරා පන්දු 6කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 6ක් ලබා සිටියා.

ඉන් අනතුරු ව ද ඔවුන්ගේ ඉනිමට සශ්‍රීක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට තරම් දායකත්වයක් කිසිවෙක්ගෙන් ලැබෙන්නේ නැහැ. ඔවුන් ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ධනංජය ද සිල්වා. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.

ඊට අමතර ව රවිඳු ප්‍රනාන්දු පන්දු 16කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 16ක් ද සහ අකිල ධනංජය පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දුශාන් හේමන්ත ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව චාමික කරුණාරත්න කඩුලු 2ක් ද, ප්‍රමෝද් මදුශාන්, නුවන් තුෂාර සහ ට්‍රෙවීන් මැතිව් කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Greens– කඩුලු 6ක් දැවී 158 (20.0)භානුක රාජපක්ෂ 20, කමිඳු මෙන්ඩිස් 50, චාමික කරුණාරත්න නොදැවී 41, ඩිල්ශාන් මදුශංක 2/32, අකිල ධනංජය 2/25
  • Team Blues– සියලුම දෙනා දැවී 86 (15.0)ධනංජය ද සිල්වා 18, රවිඳු ප්‍රනාන්දු 16, අකිල ධනංජය නොදැවී 16, චාමික කරුණාරත්න 2/17, දුශාන් හේමන්ත 4/18

Greens කණ්ඩායමට ලකුණු 72ක ජයක්.

මෙම තරගාවලියේ 5 වැනි තරගය මේ මස 13 වැනිදා Blues සහ Greys අතර මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<