කුසල් ජනිත්ගෙන් පිට පිටම ශතක දෙකක්

1186
SLC Inter District cricket tournament March 19th roundup

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් දිස්ත්‍රික් සීමිත පන්දුවාර තරගාවලියේ තවත් තරග 6ක් අද (19) ක්‍රීඩාංගණ 6කදී ක්‍රියාත්මක විය. එහි දී දිස්ත්‍රික්ක 12ක් කරට කර සටනක නියැලුණු අතර කුසල් පෙරේරා, යශෝධ ලංකා සහ හර්ෂ කුරේ අද ශතක වාර්තා කරමින් තම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා ගෙන ගිය ක්‍රීඩකයින් බවට පත්වූහ.

ඩිල්ශාන් මුණවීර ගෙන් නොසිතූ දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දිස්ත්‍රික්ක 24ක් නියෝජනය වන අන්තර් – දිස්ත්‍රික් එක්දින තරගාවලියේ තවත් තරග කිහිපයක්ම අද (18) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයකදීම පැවැත්විය.

කෑගල්ල සහ කුරුණෑගල අතර තරගය

ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පිට පිටම වාර්තා කළ දෙවැනි ශතකය හේතුවෙන් මෙම තරගයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමි විය.

ගෙවුනු බදාදා කුසල් පෙරේරා පුත්තලම දිස්ත්‍රික්කයට එරෙහිව නොදැවී ලකුණු 161ක් වාර්තා කල අතර මෙවර ලකුණු 170ක් ඉලක්කය ලෙස හිමිවූ තරගයේ දී ඔහුගේ වාර්තා කළ ශතකය නිසා පන්දුවාර 21ක් ගත වීමටත් පෙර ජයග්‍රහණය ඔවුන් සතු විය. යොවුන් දකුණත් පිතිකරුවන් අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 47ක් රැස් කරමින් කුසල්ට සහය විය. කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති තරගයේ දී කුරුණෑගල කණ්ඩායම ලකුණු 169කට සීමා කිරීමට මූලිකත්වය ගත් අකිල ධනංජය සහ මොහොමඩ් ශිරාස් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

කුරුණෑගල – සියල්ලන්ම දැවී ලකුණු 169 (පන්දුවාර 34.4): අනුරුද්ධ රාජපක්ෂ 27, මිතුන් ජයවික්‍රම 29, ධනුෂ්ක ධර්මසිරි 29, අකිල ධනංජය 3/12, මොහොමඩ් ශිරාස් 3/24.

කෑගල්ල – කඩුලු 2ක් දැවී ලකුණු 173 (පන්දුවාර 20.3): කුසල් ජනිත් පෙරේරා 105, අවිශ්ක ප්‍රනාන්දු 47*.


හම්බන්තොට සහ ගාල්ල අතර තරගය

සරේ විලේජ් හිදී පැවති මෙම තරගයේ දී යශෝධ ලංකා නොදැවී වාර්තා කළ සුපිරි ශතකය හේතුවෙන් ඔහු නියෝජනය කරන ගාලු දිස්ත්‍රික්කයේ ජය ස්ථිර විය. ඒ කඩුලු 6කිනි.

ප්‍රතිවාදී හම්බන්තොට ක්‍රීඩකයින්ව ලකුණු 232කට සීමා කිරීමට ලක්ෂාන් ජයසිංහ සහ චලන ද සිල්වාගේ පන්දු යැවීම මහෝපකාරී වූ අතර යශෝධ ලංකා පන්දු 96කදී හතරේ පහර 18ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 143ක් නොදැවී වාර්තා කරමින් ගාලු දිස්ත්‍රික්කයට ජය කණුව පසුකර යාමට උපකාරී විය.

හම්බන්තොට – කඩුලු 9ක් දැවී ලකුණු 232 (පන්දුවාර 50): පැතුම් නිස්සංක 60, ශෙනාල් ද සිල්වා 52*, දමිඳු අශාන් 36, ‍රොෂාන් ජයතිස්ස 2/33, ලක්ෂාන් ජයසිංහ 3/38, චලන ද සිල්වා 3/23.

ගාල්ල – කඩුලු 4ක් දැවී ලකුණු 233 (පන්දුවාර 34): ‍යශෝධ ලංකා 143*, ශාලික කරුණානායක 42, රුචිර සිල්වා 2/49.


රත්නපුර සහ මොනරාගල අතර තරගය  

අද NCC පිටියේ දී පැවති මෙම තරගයේ දී රත්නපුර දිස්ත්‍රික්කය තරගාවලියේ මුල්ම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. ඒ ප්‍රතිවාදී මොනරාගල කණ්ඩායම ලකුණු 29කින් පරාජය කරමිනි.

මොනරාගල දිස්ත්‍රික් නායක චමින්ද බණ්ඩාර කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට රත්නපුර කණ්ඩායමට ආරාධනා කරමින් තම වමත් වේග පන්දුවෙන් කඩුලු 4ක් දඩයම් කිරීමට සමත් විය. ඒ හේතුවෙන් රත්නපුර ඉනිම ලකුණු 231කට සීමාවිය.

නමුත් පිළිතුරු ඉනිමේ දී පිතිකරණය අසාර්ථක කර ගත් මොනරාගල දිස්ත්‍රික්කයට රත්නපුර ඉනිමට වඩා ලකුණු 29ක් මෙපිටින් නතර වන්නට සිදු විය. රත්නපුර නායක රජීව වීරසිංහ සහ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක නවීන් කොඩිකාර කඩුලු 3 බැගින් දවාලමින් රත්නපුර ජයග්‍රහණයට මුද්‍රා තැබූහ.

රත්නපුර – සියල්ලන්ම දැවී ලකුණු 231 (පන්දුවාර 47.1): මධුරංග සොයිසා 32, චානක රුවන්සිරි 35, සජිත් දිසානායක 64, චරිත් ප්‍රනාන්දු 29, චමින්ද බණ්ඩාර 4/65, චලනක වීරසිංහ 2/37, රයන් කෙරන් 2/28.

මොනරාගල – සියල්ලන්ම දැවී ලකුණු 202 (පන්දුවාර 47.3): ගිහාන් රූපසිංහ 23, යොහාන් ද සිල්වා 38, ඉශාන් රංගන 21, ප්‍රශාන් වික්‍රමසිංහ 20, ගයාන් මනීෂාන් 22, චමින්ද බණ්ඩාර 23, නවීන් කවිකාර 3/39, රජීව වීරසිංහ 3/34.


ත්‍රිකුණාමලය සහ අම්පාර අතර තරගය

කොළඹ BRC පිටියේ දී පැවති මෙම තරගයේ දී ත්‍රාසජනක උණුසුම් තරගයකින් අනතුරුව එක් කඩුල්ලකින් ජය තහවුරු කර ගැනීමට ත්‍රිකුණාමල දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.

මුලින් පන්දුවට පහර දීම තෝරා ගැනීමෙන් අනතුරුව අම්පාර දිස්ත්‍රික්කය ලකුණු 178ක් ලබා ගත් අතර නායක හර්ෂ විතාන ඒ වෙනුවෙන් අර්ධ ශතකයකින් ආධාර විය. පන්දු යැවීමේ දී බුද්ධික සඳරුවන් කඩුලු 3කට හිමිකම් කීවේය.

පිළිතුරු ඉනිමේ දී ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායක රොස්කෝ තට්ටිල් සටන්කාමී ලකුණු 43ක් රැස් කල අතර සොහාන් රංගික (23*) අවසන් මොහොත දක්වාම කඩුල්ලේ රැඳී සිටිමින් ත්‍රිකුණාමල ජයග්‍රහණය තහවුරු කළේය. දිනුක් හෙට්ටිආරච්චි කඩුලු 3ක් බිඳ හෙලමින් අම්පාර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා ගෙන යන්නට ප්‍රබල වෙහෙසක් ගත්තේය.

අම්පාර – සියල්ලන්ම දැවී ලකුණු 178 (පන්දුවාර 47.4): හර්ෂ විතාන 59*, රුමේෂ් බුද්ධික 39, විකුම් සංජය 28, බුද්ධික සඳරුවන් 3/32, ජනක පීරිස් 2/28.

ත්‍රිකුණාමලය – කඩුලු 9ක් දැවී ලකුණු 184 (පන්දුවාර 43.3): රොස්කෝ තට්ටිල් 43, දිමුත් වරාපිටිය 25, සොහාන් රංගික 23*, දිනුක් හෙට්ටිආරච්චි 3/39, ඇන්ඩි සොලමන්ස් 2/26, ටී. එම්. සම්පත් 2/36.


කිලිනොච්චිය සහ වව්නියාව අතර තරගය

කිලිනොච්චි දිස්ත්‍රික් නායක හර්ෂ කුරේ නොදැවී වාර්තා කළ අනර්ඝ ශතකය නිසාවෙන් පනාගොඩ යුධ හමුදා පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 9ක ඉතාමත් පහසු ජයක් ලබා ගන්නට ඔවුන් සමත් විය.

මුලින් පන්දු යැවීම තෝරා ගැනීමෙන් අනතුරුව කසුන් රාජිත ඇතුළු කිලිනොච්චි දිස්ත්‍රික් පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා නිසා වව්නියා පිතිකරුවන් ලකුණු 173කට සීමා කිරීමට හැකි විය. මෙම වාසියේ උපරිම ප්‍රතිඵල කිලිනොච්චි දිස්ත්‍රික්කයට ලබා දුන් හර්ෂ කුරේ පන්දු 96කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 108ක් රැස් කරමින් සුපිරි ජයග්‍රහණය පහස කිලිනොච්චි දිස්ත්‍රික්කයට ගෙන දුන්නේය.

වව්නියාව – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 40.4): සමිත් දුශාන්ත 40, අසේල් අලුත්ගේ 40, දිනූෂ ප්‍රනාන්දු 32, කසුන් රාජිත 3/44, කෞෂල්‍ය ගජසිංහ 2/24, සුරාජ් රන්දිව් 2/40.

කිලිනොච්චිය – එක් කඩුල්ලක් දැවී ලකුණු 174 (පන්දුවාර 34.4): හර්ෂ කුරේ 108*, සංගීත් කුරේ 58*


ගම්පහ සහ කළුතර අතර තරගය

කොළඹ CCC පිටියේ දී පැවති මෙම තරගයේ දී ප්‍රතිවාදී ගම්පහ දිස්ත්‍රික්කය පරදවා කඩුලු 4ක පහසු ජයක් හිමි කර ගැනීමට කළුතර දිස්ත්‍රික්කය සමත් විය. රුක්ෂාන් වීරසිංහ ලකුණු 88ක් රැස් කරමින් වැඩි දායකත්වයක් ලබා දුන්නද අනෙක් පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ගම්පහ ඉනිම ලකුණු 168ට සීමා විය. දක්ෂ පන්දු යැවීමක නිරත වුනු මංජුල ගුරුගේ සහ මිශේන් සිල්වා ගම්පහ දිස්ත්‍රික්කයේ කඩුලු 4 බැගින් ඩැහැ ගැනීමට සමත්කම් දැක්වූහ.

පිළිතුරු ඉනිමේ දී අත්දැකීම් සහිත පිතිකරු හසන්ත ප්‍රනාන්දු රැස්කල අර්ධ ශතකයේ උපකාරයෙන් ජයග්‍රහණයේ සතුට සමරන්නට කළුතර දිස්ත්‍රික්කය සමත් විය.

ගම්පහ – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 47.2): රුක්ෂාන් වීරසිංහ 88, ලහිරු වික්‍රමසිංහ 23, මංජුල ගුරුගේ 4/24, මිශේන් සිල්වා 4/18

කළුතර – කඩුලු 6ක් දැවී ලකුණු 169 (පන්දුවාර 39): හසන්ත ප්‍රනාන්දු 53, මාධව නිමේෂ් 53, තනුර ප්‍රනාන්දු 3/32, කල්හාන් සිනෙත් 2/27.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට