කොදෙව්වෝ තරගාවලිය 2-1කින් ජය ගනී

Sri Lanka Emerging Team Tour of West Indies

3
SL vs WI Emerging

සංචාරක ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 2-1ක් ලෙසින් පෙරමුණ ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ තරගාවලිය ජයග්‍රහණය කළා.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ ජයග්‍රහණය කළ ද අනෙක් තරග ද්විත්වය ම ජයග්‍රහණය කරනු ලබන්නේ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමයි.

North Sound හී ශ්‍රීමත් Vivian Richards ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් අද (27) උදෑසන අවසන් වූ 3 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීම සුදුසු බවයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 144ක් පමණයි.

එම ඉලක්කය පන්දු 145කින් කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමින් සපුරා ගැනීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වෙනවා.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙන්නේ පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමෙන් වෙනස්කම් 2ක් සිදු කරමිනුයි. ඒ අනුව පෙර තරගයේ දී කඩුලු රැකී අංජල බණ්ඩාර වෙනුවට නැවත සොහාන් ද ලිවේරා කැඳවමින් ද සහ චමිඳු විජේසිංහ වෙනුවට දුලාජ් සමුදිත කැඳවමින් ද ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබුණා.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම ද අද තරගයේ දී වෙනස්කම් 2ක් සිදු කර තිබුණා. ඒ පෙර තරගයට ක්‍රීඩා කළ Nathan Edward සහ Micah Mckenzie වෙනුවට Kelvin Pitman සහ Zishan Motara එක් කරමිනුයි.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම

 

ධනංජය ලක්ෂාන් (නායක), නිපුන් ධනංජය, ශෙවෝන් ඩැනියෙල්, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), සහන් කෝසල, අහන් වික්‍රමසිංහ, රවිඳු ප්‍රනාන්දු, මෙලන් හංසක, ට්‍රෙවීන් මැතිව්, ගරුක සංකේත් සහ දුලාජ් සමුදිත.

 

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම

 

Teddy Bishop (නායක), Ackeem Auguste, Rivaldo Clarke, Kelvin Pitman, Carlon Bowen- Tuckett, Joshua Bishop, Zishan Motara, Mavendra Dindyal, Jewel Andrew (කඩුලු රකින්නා), Michael Palmer සහ Jediah Blades.

සුපුරුදු ලෙසින් ම නිපුන් ධනංජය සහ ශෙවෝන් ඩැනියෙල් විසින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නමුත් ඔවුන්ගේ සබඳතාව ලකුණු 6ක් වෙද්දී අවසන් වෙනවා. ඒ නිපුන් ධනංජය ලකුණු 5කට පළමු කඩුල්ල ලෙසින් ඉනිම හැර යද්දීයි.

අනතුරු ව පිටියට පිවිසියේ සොහාන් ද ලිවේරා. මේ වමත් පිතිකරුවාගේ ඉනිම ලකුණු නොලැබූ පන්දු 2කට පමණක් සීමාවෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 8ක් බවට පත් ව තිබුණා. අනතුරු ව පිටියේ රැඳී සිටි ශෙවෝන් ඩැනියෙල් ලකුණු 8කට ද සහ අහන් වික්‍රමසිංහ ලකුණකට ද තම ඉනිම් හැර යනවා.

එම දැවී යෑමත් සමඟින් ශ්‍රී ලංකා ඉනිම දැක් වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 18ක් ලෙසයි. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට කඳවුරු බැඳීමට සහන් කෝසල සහ නායක ධනංජය ලක්ෂාන් සමත් වෙනවා. ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97ක දී ලකුණු 74ක සබඳතාවක් ගොඩ නගනවා.

එහි දී සහන් කෝසල පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ද සහ ධනංජය ලක්ෂාන් පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ද ලබා ගන්නවා.

ඊට අමතර ව රවිඳු ප්‍රනාන්දු පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා. අනෙකුත් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී 23 වැනි වියේ පසුවෙන වමතින් මඳ වේග පන්දු යවනා Jediah Blades ලකුණු 28කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව 18 වැනි වියේ පසුවෙන පා දඟ පන්දු යවන Zishan Motara ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර Kelvin Pitman ද එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සාර්ථක ආරම්භයක් සපුරා ගන්නවා. ඔවුන් පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 53ක්. පන්දු 36කින් එක් වූ එම සබඳතාව බිඳී යන්නේ  Jewel Andrew ගේ දැවී යෑමත් සමඟයි.

ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටිය දී ඉනිම හැර ගිය අතර ඔහුගේ පුරප්පාඩුවට පිටියට පිවිසියේ නායක Teddy Bishop. ඔහු සහ අනෙක් ආරම්භක පිතිකරු Ackeem Auguste අතර පැවැතියේ මංදගාමි ලකුණු එකතුවක්.

ඉනිමේ 2 වැනි කඩුල්ලට ඔවුන් දෙදෙනා පන්දු 43ක් වැය කරමින් ලබා ගන්නේ ලකුණු 36ක් පමණයි. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Teddy Bishop පන්දු 11කට මුහුණ දෙමින් ලකුණු 7කට දැවී යෑමත් සමඟිනුයි.

අනතුරු ව ඉනිමට තවත් ලකුණු 2ක් පමණක් එක් වෙද්දී පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටි Ackeem Auguste ද දැවී යනවා.

එතැන් සිට කිසිඳු කඩුල්ලක් ප්‍රතිවාදීන්ට ලබා නොදීමට සත්කාරක ක්‍රීඩකයෝ පරිස්සම් වෙනවා. ඒ අනුව Mavendra Dindyal සහ Carlon Bowen- Tuckett සිව් වැනි කඩුල්ලට පන්දු 54ක දී නොදැවුණ ලකුණු 56ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යනවා.

එහි දී Mavendra Dindyal පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ද සහ Carlon Bowen- Tuckett පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මෙලන් හංසක ලකුණු 57කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී රවිඳු ප්‍රනාන්දු කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 144 (35.5) සහන් කෝසල 40, ධනංජය ලක්ෂාන් 36, රවිඳු ප්‍රනාන්දු 28, Jediah Blades 5/28, Zishan Motara 3/19
  • බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 147 (24.1) Ackeem Auguste 38, Jewel Andrew 38, Mavendra Dindyal නොදැවී 32, Carlon Bowen- Tuckett නොදැවී 25, මෙලන් හංසක 2/57

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<