කාන්තාවෝ දකුණු අප්‍රිකාව ගෙදර යවා ගෙදර එයි

260
කාන්තාවෝ දකුණු අප්‍රීකාව ගෙදර යවා ගෙදර එන ලදි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ සහභාගි වන අවසාන තරඟය අද (28) ඉන්දියාවේ බැංගලෝර් නුවර දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමඟ පැවැත්විණි. එම තරඟය ලකුණු 10 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලහ. සුපුරුදු ලෙස නායිකා චමරි අතපත්තු හා යශෝධා මෙන්ඩිස් පිටියට පිවිසි අතර ලකුණු 23 ක් ලෙස ලකුණු පුවරුව දැක්වෙද්දී පන්දු 11 කදී එක් 4 පහරක් සමඟ ලකුණු 11 ලබා සිටි යශෝධා මෙන්ඩිස් දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි ඩිලානි මනෝදරා පන්දු 9 කදී ලකුණු 4 කට දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි අනුෂ්කා සංජීවනී සමඟ එක් වූ චමරි අතපත්තු 3 වන කඩුල්ල සඳහා ලකුණු 28 ක සබඳතාවක් ගොඩනංවන ලදි. චමරි අතපත්තු ඉතා සුපරීක්ෂාකාරී ලෙස පන්දුවට පහර එල්ල කල බවක් පෙනිණි. අනුෂ්කා සංජීවනී ලකුණු  7 ට දැවී යන ලදි , 4 වන කඩුල්ල ලෙස ශ්‍රී ලංකා ඉණිම ලකුණු 93 ක් දක්වා වර්ධනය කර නායිකා චමරි අතපත්තු, පන්දු 49 කදී දර්ශනීය 4 පහරවල් 5 ක් හා අලංකාර 6 පහරක් සමඟ වේගවත් ලකුණු 52 ක් ලකුණු පුවරුවේ සටහන් කර දැවී යන ලදි. අනතුරුව පැමිණි කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 15 සීමාව පසු කිරීමට නොහැකි විය. ප්‍රසාධිනී වීරක්කොඩි 4 පහරවල් 2 ක් සමඟ ලකුණු 15 කටද, අමා කාංචනා එක් ලකුණකට ද, නිපුනි හංසිකා ලකුණු නොලබාම දැවී ගිය අතර නොදැවී ක්‍රීඩා කල එෂානි කෞෂල්‍යා එක් 4 පහරක් සමඟ පන්දු 11 කදී ලකුණු 12 ක්ද ,උදේශිකා ප්‍රබෝධනී ලකුණු 5 ක්ද ලබා ගන්නා ලදි. කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 114 ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් මරිසිනා කප් පන්දුවාර 4 කදී ලකුණු 17 කට කඩුළු 2ක් ද, සූන් ලූස් පන්දුවාර 3 කදී ලකුණු 20කට කඩුළු 2ක් ද, ෂැබිනිම් ඉස්මයිල් හා මර්සියා ලෙට්සෝලා එක් කඩුල්ල බැගින් දවාලීමට සමත් විය.

අනතුරුව ලකුණු 115 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ ආරම්භක සබඳතාව ලකුණු  50 ක සාර්ථක ආරම්භයක් විය. ඩෑන් වෑන් නිරෙක් පන්දු 31 කදී ලකුණු 24 ගැනීමට එක් 6 පහරක් හා 4 පහරවල් 2ක් එල්ල කර සිටියදී දැවී යන ලදි. මිග්නන් ප්‍රේස් ලකුණු නොලබා 2 වන කඩුල්ල ලෙස දැවී ගිය අතර සාර්ථක ආරම්භයක් ලබා ගත් ට්‍රිෂා වෙට්ටි 4 පහරවල් 3 ක් සමඟ පන්දු 25 කදී ලකුණු 26 කට 3 වන කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු පුවරුව ලකුණු 52 ක් ලෙස දැක්විණි. අනතුරුව පිටියට පිවිසි මරිසිනා කප් හා දිනේෂා දේවනාරායන් ලකුණු 13 ක සබඳතාවක් ගොඩනංවන ලදි. දිනේෂා දේවනාරායන් ලකුණු 3 කට දැවී ගිය අතර ලකුණු පුවරුවට තවත් ලකුණු 9 ක් එක් වෙද්දී මරිසිනා කප් ලකුණු 14 කට 5 වන කඩුල්ල ලෙස දැවී යන ලදි. ලිසෙල්ලා ලී ලකුණු  12 කට ද ,චොලේ ටිරෝනි ලකුණු 11කට ද දැවී ගිය අතර අවසාන පන්දුවාරය දක්වා තරඟය විවෘතව පැවැතිණි. කෙසේ වෙතත් අවසානයේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකි වුයේ කඩුළු 7 ක් දැවී ලකුණු 104 ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 10 කින් තරඟය ජයග්‍රහණය කරන ලදි. නොදැවී ක්‍රීඩා කල සූනේ ලූස් ලකුණු 10 ක්ද, ෂාබ්නිම් ඉස්මයිල් එක් ලකුණක්ද ලබා සිටින ලදි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී පන්දුවාර 4 කදී ලකුණු 13 කට කඩුළු 2ක් ද, සුගන්ධිකා කුමාරි පන්දුවාර 4 කදී ලකුණු 24 ට කඩුළු 2 ක්ද, චමරි අතපත්තු හා එෂානි කෞෂල්‍යා එක් කඩුල්ල බැගින් ද දවාලීමට සමත් විය.

තරඟයේ වීරවරිය ලෙස කණ්ඩායම් නායිකා චමරි අතපත්තු සම්මාන දිනා ගන්නා ලදි.