ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තවත් දිනයක් ඉතිරි ව තිබිය දී ම ඉනිමක සහ ලකුණු 78ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (28) සමත් වුණා.
මේ සමඟින් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0ක් සේ ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ තුන් වැනි ස්ථානය දක්වා පැමිණීමට ද මෙම ජයග්‍රහණය ඉවහල් කර ගත්තා.
තරගයේ සිව් වැනි දිනය වූ අද (28) දිනය ආරම්භ වෙන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 115ක් ලබා සිටියදීයි. ඒ අනුව ඔවුන්ගේ දිනයේ පළමු ඉලක්කය වෙන්නට ඇත්තේ ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 96ක් ලබා ගැනීමයි. එහෙත් ඔවුන් සතුව ඒ වෙනුවෙන් ඉතිරි ව තිබුණේ කඩුලු 4ක් පමණයි.
ඔවුන්ගේ එම ගමන සිහිනයක් පමණක් වෙමින් අද ඉනිම, පන්දු 34කට සීමා වෙමින් කඩුලු 4ක් බිලි දෙමින් ලබා ගන්නේ ලකුණු 18ක් පමණයි.
දිනයේ දවා ගත් කඩුලු 4න් කඩුලු 3ක් තම ගිණුමට බැර කර ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වෙනවා. ඒ අනුව ප්‍රභාත් ජයසූරිය තරගය අවසන් කරන්නේ ලකුණු 56කට කඩුලු 5ක් බිඳ දමමිනුයි. ඔහු ටෙස්ට් තරගයක දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් 12 වැනි අවස්ථාවයි අද වාර්තා කරන්නේ.
පෙර දිනයේ එක් කඩුල්ලක් දවා ගෙන සිටි තරිඳු රත්නායක අද ඊට තවත් කඩුල්ලක් එක් කර ගනිමින් ලකුණු 19කට කඩුලු 2ක් දවා ගන්නවා.
- බංගලි සමඟ එක්දින ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- කුසල්, ධනංජය සහ ප්‍රභාත් බංග්ලාදේශයට වල කපයි
- සුබ ගමන් මැතිව්ස්!
- මැතිව්ස්; පුරාවෘත්තාන්තයක නිමාව
- වසර 12කට පසුව ගාල්ල පරහකට සිටී
පෙර දිනයේ නොදැවී පිටියේ රැඳී සිටි Litton Das අද තම ඉනිමට ලකුණක් පමණක් එකතු කර ගනිමින් දැවී යන විට පන්දු 43කට මුහුණ දෙමින් ලකුණු 14ක් ලබා සිටි අතර ඊට අමතර ව Nayeem Hasan (5), Taijul Islam (6) සහ Ebadot Hossain (6) අඩු ලකුණුවලට තම ඉනිම් බිලි දුන්නා.
තරගය අවසන් වන් විට Nahid Rana ලකුණු නොලබා පිටියේ නොදැවී රැඳී සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 247 (79.3) Shadman Islam 46, Mominul Haque 21, Mushfiqur Rahim 35, Litton Das 34, Mehidy Hasan Miraz 31, Nayeem Hasan 25, අසිත ප්‍රනාන්දු 3/51, විශ්ව ප්‍රනාන්දු 2/45, සොනාල් දිනූෂ 3/22
- ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 458 (116.5) පැතුම් නිස්සංක 158, ලහිරු උදාර 40, දිනේෂ් චන්දිමාල් 93, කමිඳු මෙන්ඩිස් 33, කුසල් මෙන්ඩිස් 84, Taijul Islam 5/131, Nayeem Hasan 3/87
- බංග්ලාදේශය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 133 (44.2) Anamul Haque 19, Najmul Hossain Shanto 19, Mushfiqur Rahim 26, ප්‍රභාත් ජයසූරිය 5/56, ධනංජය ද සිල්වා 2/13, තරිඳු රත්නායක 2/19
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 78ක ජයක්.
- තරගයේ වීරයා – පැතුම් නිස්සංක (ශ්‍රී ලංකාව)
දෙරට අතර පැවැත්වෙන් තරග 3කින් යුත් එක්දින තරගාවලිය ජුලි මස 02 වැනිදායින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<