ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන 2 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරග අද (25) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර, තරගය පළමු දිනයට නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 220ක් ලබා සිටියා.
බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායමක් මෙම තරගය පැවැත්වෙන කොළඹ SSC ක්‍රීඩාංගණයට පය තබන්නේ 2007 වසරෙන් පසුව වන අතර එම වසරේ ජුනි මාසයේ අද වැනි දවසක දී ම එම තරගය ආරම්භ වීම විශේෂත්වයක්.
අද ආරම්භ වූ මෙම තරගයේ දී 24 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වෙනවා.
කුසල් මෙන්ඩිස් වෙතින් ටෙස්ට් හිස් වැස්ම පැළඳ ගත් සොනාල් දිනූෂ මේ දක්වා පළමු පෙළ තරග 48ක දී ශතක 7ක් සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 2478ක් ද සහ කඩුලු 99ක් ද අතැතිව සිටින වමත් ක්‍රීඩකයෙක්.
ඔහුට අමතර ව අද තරගයේ දී විශ්ව ප්‍රනාන්දු ට ද මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමි ව තිබෙනවා.
බංග්ලාදේශ කණ්ඩායම පෙර තරගයට එක් වූ Jaker Ali සහ Hasan Mahmud වෙනුවට Mehidy Hasan Miraz සහ Ebadot Hossain එක් කර තිබුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම
ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), සොනාල් දිනූෂ, තරිඳු රත්නායක, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ජයසූරිය.
බංග්ලාදේශ කණ්ඩායම
Najmul Hossain Shanto (නායක), Shadman Islam, Anamul Haque, Mominul Haque, Mushfiqur Rahim, Litton Das (කඩුලු රකින්නා), Mehidy Hasan Miraz, Taijul Islam, Nayeem Hasan, Nahid Rana සහ Ebadot Hossain
- ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වෙනස්කම් දෙකක්
- සුබ ගමන් මැතිව්ස්!
- වසර 12කට පසුව ගාල්ල පරහකට සිටී
- නවක ක්‍රීඩකයින් රැසක් සමඟ ශ්‍රී ලංකාව බංගලි ටෙස්ට් ගැටුමට සැරසෙයි
- දකුණු අප්‍රිකානුවන් දශක ගණනක සිහිනය සැබෑ කර ගනී!
දෙරටේ නායකයන් අතර උරගා බැලුණ කාසියේ වාසිය දිනා ගත් සංචාරක බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගත්තා.
ඒ අනුව Shadman Islam සහ Anamul Haque විසින් ආරම්භ කළ බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 5ක් වෙද්දී දවා ගැනිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. එම සාර්ථක ආරම්භයත් සමඟින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරගයේ පළමු කාර්තුවේ දී තවත් කඩුල්ලක් දවා ගනු ලබන අතර ඔවුන් ප්‍රතිවාදීන්ට ලබා ගැනීමට ඉඩ දෙන්නේ ලකුණු 71ක් පමණයි.
ඒ වෙද්දී Anamul Haque (0) පළමු කඩුල්ල ලෙසින් දැවී ගිය අතර Mominul Haque පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටිය දී 2 වැනි කඩුල්ල ලෙසින් දැවී යනවා.
දිවා විවේකයෙන් අනතුරු ව යැවුණ 12 වැනි පන්දුවේ දී පෙර ටෙස්ට් තරගයේ දී ඉනිම දෙකේ දී ම ශතක රැස් කළ බංග්ලාදේශ නායක Najmul Hossain Shanto ගේ ඉනිම ද නිමා කිරීමට විශ්ව ප්‍රනාන්දු සමත් වෙනවා. ඒ කඩුල්ල පිටුපස සිටි කුසල් මෙන්ඩිස් රැකගත් උඩ පන්දුව හේතුවෙනුයි.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 6 වැනි පන්දුවේ දී පළමු කඩුල්ලට පිවිසීමේ ගෞරවය එතෙක් ආරක්ෂා කර ගනිමින් සිටි Shadman Islam ගේ ඉනිම ද අවසන් වෙනවා. ඔහු දැවී යන පන්දු 93කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියා. ඒ වෙද්දී බංග්ලාදේශ කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 76ක් ලෙසයි.
එතැන් සිට බංග්ලාදේශ ඉනිම ගොඩ ගැනීමේ වගකීම Mushfiqur Rahim සහ Litton Das වෙත පැවැරුණත් ඔවුන්ට ඒ ගමන යෑමට සිදු වෙන්නේ වර්ෂාව හේතුවෙන් අහිමි වූ පැයකට ආසන්න කාලයක් ද සමඟිනුයි. කෙසේ වෙතත් බංග්ලාදේශ බලාපොරොත්තු ඉහළ දමමින් ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 113ක දී ලකුණු 67ක සබඳතාවක් ගොඩ නගනවා.
එලෙසින් සාර්ථක වූ ඔවුන් දෙදෙනාගේ සබඳතාව බිඳ දැමීමට සොනාල් දිනූෂ සහ කුසල් මෙන්ඩිස් සමත් වෙනවා. තම මංගල ටෙස්ට් තරගයේ 11 වැනි පන්දුව යවමින් සිටි සොනාල් දිනූෂ Litton Das දවා ගනිමින් තම පළමු පෙළ ක්‍රිකට් තරග දිවියේ 100 වැනි කඩුල්ල මෙන් ම ටෙස්ට් තරග දිවියේ මංගල කඩුල්ල ද දවා ගන්නවා.
Litton Das කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන විට පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 7 වැනි පන්දුවෙන් පසුව තරගය තේ විවේකය සඳහා නතර කෙරුණ අතර ඒ වෙද්දී බංග්ලාදේශ ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 144ක් බවට පත් ව තිබුණා.
තේ විවේකයෙන් පසුව ද දිගින් දිගට ම පන්දු යැවීම සඳහා සොනාල් දිනූෂ යොද ගත් අතර ඔහු තමන් කෙරෙහි වූ කණ්ඩායමේ විශ්වාසය ඉටු නැවතත් ඉටු කිරීමට සමත් වෙනවා. ඒ බංග්ලාදේශ ඉනිමේ 6 වැනි කඩුල්ල ද තමන් නමට ලියා ගනිමිනුයි.
සොනාල් දිනූෂ විසින් යැවුණ 5 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී Mushfiqur Rahim ගේ කඩුල්ල ද ඒ අනුව ඔහුට හිමි වෙනවා. විශ්ව ප්‍රනාන්දු විසින් රැකගත් උඩ පන්දුවක් හේතුවෙන් Mushfiqur Rahim දැවී යන විට පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා. එය අද දවසේ බංග්ලාදේශ පිතිකරුවෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
සොනාල් දිනූෂ ගේ මේ සාර්ථක පන්දු යැවීමත් සමඟින් ඔහු තම පන්දු යැවීමේ පළමු වාරය තුළ එක දිගට පන්දුවාර 9ක් යවනවා. ඒ වෙද්දී ඔහු නිලකුණු පන්දුවාර 3ක් සමඟින් ලකුණු 22කට කඩුලු 2ක් දවාගෙන සිටියා.
කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ව තිබූ බංග්ලාදේශ ඉනිමට, පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් එක් කිරීමට Mehidy Hasan Miraz ද සහ පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් එක් කිරීමට Nayeem Hasan ද සමත් වෙනවා.
ඒ ආකාරයෙන් රැගෙන ආ තරගය පළමු දිනයට නතර කරන විට Taijul Islam ලකුණු 9ක් ද සහ Ebadot Hossain ලකුණු 5ක් ද ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී සොනාල් දිනූෂ, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කඩුලු ද්විත්වය බැගින් ද, ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 220 (71.0)Shadman Islam 46, Mominul Haque 21, Mushfiqur Rahim 35, Litton Das 34, Mehidy Hasan Miraz 31, Nayeem Hasan 25, අසිත ප්‍රනාන්දු 2/43, විශ්ව ප්‍රනාන්දු 2/35, සොනාල් දිනූෂ 2/22
හෙට (26) තරගයේ දෙවැනි දිනයයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.