පිතිපෙළ නැවත වරක් නාය යයි; ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්!

399

තරගය පුරාවට දැක්වූ දියාරු පිතිකරණ රටාව නිසා ඕස්ට්‍රේලියානු සංචාරය අරඹමින් පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලැජ්ජා සහගත පරාජයක් උරුම කර ගැනීමට අද (26) ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

දින දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුල නිමාවට පත්වූ මෙම තරගයේ දී ප්‍රතිවාදී වේගපන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකාව දැඩි ලෙස අසරණ වූ අතර අවසන් ප්‍රතිඵලය වූයේ ඉනිමක සහ ලකුණු 40ක දැවැන්ත ජයක් සත්කාරක ඕස්ට්‍රේලියානු පිළ සතුවීමයි. මෙය ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් නවක ක්‍රීඩකයින් ආදේශ කරමින් අත්හදා බැලීම් කරන කාලයක් වූ බැවින් ඔවුන්ව මෙල්ල කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් මෙවර ශ්‍රී ලංකා පිළ සතු වුවද ඒ වෙනුවට ඔවුන් තෝරා ගත්තේ පරාජයේ මාවතයි.

අසරණ වූ ශ්‍රී ලංකා පිළට ලක්මාල්ගෙන් සහනයක්

සුරංග ලක්මාල්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා ඕස්ට්‍රේලියානු ප්‍රථම ඉනිම ලකුණු….

ඕස්ට්‍රේලියානු වේලාවෙන් අද දහවල් 1ට තරගය ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී කැන්ගරු පළමු ඉනිමට වඩා ලකුණු 162ක් පිටුපසින් පසුවිය. ඊයේ දිනයේ අවසන් පන්දුවට මුහුණ දුන් දිමුත් කරුණාරත්නව පිටියෙන් ඉවත් කිරීමට පැට් කමින්ස් සමත් වීමත් සමඟම කැන්ගරුවන්ට අද ජය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය වූයේ තවත් කඩුලු 9ක් පමණි. ඒ වන විටත් පරාජයේ අඳුරු සෙවණැලි ශ්‍රී ලංකා පිළ ආක්‍රමණය කර තිබුණ ද ඔවුන් යම් තරමක හෝ සටනක් ලබා දෙමින් ඉනිමක පරාජයෙන් හෝ ගැලවෙනු ඇතැයි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු තබා සිටියහ.

Photos: Sri Lanka Vs Australia 1st Test – Day 3

නමුත් ඒ සිහින සියල්ල බොඳ කරමින් අද ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එකදු ලකුණක් හෝ එක් වන්නට පෙර දිනේෂ් චන්දිමාල් දැවී ගියේය. ඒ නායකයෙකු ලෙස මෙන්ම වත්මන් ටෙස්ට් පිළේ පරිණතම ටෙස්ට් පිතිකරුවා ලෙස තමන්ට තිබූ දැඩි වගකීම පැහැර හරිමිනි. ශ්‍රී ලංකා නායකයාව දවා ගැනීම වෙනුවෙන් පැට් කමින්ස් යැවූ පන්දුව ඉතාමත් තර්ජනාත්මක වූ බව පිළිගත හැකි වුවද, සාර්ථක ටෙස්ට් පිතිකරුවෙකු යනු එවන් අභියෝගවලට මුහුණ දී ජය ලැබිය හැකි දැඩි ආත්ම ශක්තියක් සහ තාක්ෂණයක් සහිත ක්‍රීඩකයෙකු බව ද සියල්ලන්ම දන්නා සත්‍යයකි. මුල් ඉනිමේ ලකුණු 5ක් පමණක් ලබාගත් චන්දිමාල් දෙවැනි ඉනිමේ ලකුණු රැස් කිරීමට සමත් වූයේ නැත.

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ සෝ සුසුම් මැද මීළඟට ක්‍රීඩාගාරයට හැරී ගියේ යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිසුයි. ඒ වන විට කඩුලු 3ක් දැවී ගිය ශ්‍රී ලංකා ඉනිමට එක්වී තිබුණේ ලකුණු 19ක් පමණි. මුල් ඉනිමේ දී ලකුණු 14ක් රැස්කළ කුසල් මෙන්ඩිස් අද කඩුල්ලෙන් ඉවත ඇදී ගිය පන්දුවකට නොසැලකිලිමත් ලෙස පිත්ත යොමු කරමින් දැවී ගියේ, මේ ක්‍රීඩා කරන්නේ පල්ලෙකැලේ දී පැවති ටෙස්ට් තරගයක් අතරතුරේ දී කැන්ගරුවන්ට එලව එලවා පහර දෙමින් ලකුණු 176ක් රැස් කරගත් ඒ හුරුබුහුටි ක්‍රීඩකයාම දැයි සැකයක් ඇති කරමිනි. මෙන්ඩිස්ගේ කඩුල්ල ද දවා ගත්තේ ද දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් විසිනි.

ඕස්ට්‍රේලියා නොගිය කෞෂාල්ගෙන් අතිදැවැන්ත ඉනිමක්!

වෝන් – මුරලි කුසලානය අරඹමින් ක්‍රියාත්මක වූ පළමු දිනයේම ශ්‍රී ලංකා….

දේශීය තරගවල දී කිසිදු අවහිරයකින් තොරව ලකුණු අතර සිටීම නිසා කණ්ඩායමේ ස්ථාන දිනාගත් රොෂේන් සිල්වා සහ ධනංජය සිල්වා ද වේගවත් ඕස්ට්‍රේලියානු තණතිලි මත දී සාර්ථක වූයේ නැත. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වනසමින් පන්දු යැවූ පැට් කමින්ස්ගේ සිව්වැනි බිල්ල ලෙස රොෂේන් දැවී ගියේ ලකුණු 3ක් පමණක් ලබා සිටියදීයි. ධනංජය ද සිල්වා ලකුණු 14යි. මුල් ඉනිමේ දී සාර්ථක වූ එකම ශ්‍රී ලාංකීය පිතිකරුවා වූ නිරෝෂන් දික්වැල්ල දෙවැනි ඉනිමේ දී ද හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් රැස් කරම්න් ආරම්භයක් ලබා ගත්ත ද මංගල තරගයට ක්‍රීඩා කරන ජේ රිචඩ්සන් අද ඔහුව පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ඒ ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් උපක්‍රමශීලීව බැක්වර්ඩ් ස්ක්වෙයාර් ලෙග් හි පන්දු රකින්නෙකු රඳවා තිබූ බැවිනි.

කලකට පසු ජාතික ටෙස්ට් කණ්ඩායමට එක්වූ ලහිරු තිරිමාන්න දෙස බොහෝ දෙනා අවධානයෙන් පසු වුවද කැපී පෙනෙන යමක් කිරීමට ඔහුට හැකි වූයේ නැත. මුල් ඉනිමේ ලකුණු 12කට දැවී ගිය ඔහු දෙවැනි ඉනිමේ දී ලකුණු 32ක් ලබා ගැනීමට සමත් විය. පිතිකරුවන් දුරකථන අංකයක් නිර්මාණය වන පරිද්දෙන් තනි ඉලක්කමේ ලකුණුවලට දැවී යද්දී පසුපෙළ ක්‍රීඩකයෙකු ලෙස සුරංග ලක්මාල් ලකුණු 24ක් රැස් කිරීමට සමත් වුවද ඔහුට ඕස්ට්‍රේලියානු කණ්ඩායම නැවත වරක් පිටියට කැඳවන්නට තරම් තර්ජනයක් ඇති කිරීමට හැකි නොවීය. විශේෂඥ පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්වූ ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩාගාරයේ විවේක සුව විඳිමින් සිටියදී ඔහුගෙන් එවන් ආශ්චර්යක් බලාපොරොත්තු වීම ද නිශ්චල දෙයකි.

ඒ අනුව නේතන් ලයන් යැවූ පන්දුවක් හමුවේ ලක්මාල් ස්ටම්ප් කිරීමකට හසු වීමත් සමඟ තරගය අවසන් විය. ඒ ආබාධයට ලක්වූ ලහිරු කුමාර පන්දුවට පහර දීමට පිටිය මැදට නොපැමිණෙන බව තහවුරු වීමත් සමඟයි. ශ්‍රී ලංකාව සතු වේගවත්ම පන්දු යවන්නන්ගෙන් එක් අයෙකු ලෙස සැලකිය හැකි ලහිරු කුමාර අද පාදයේ ආබාධයකට ලක්වූ අතර ඔහුට මෙම තරගාවලියම අහිමි වන බව වාර්තා වේ. ඒ අනුව සංචිතයේ සිටින අනෙක් වේග පන්දු යවන්නන් දෙදෙනා වන කසුන් රාජිතට හෝ විශ්ව ප්‍රනාන්දුට මීළඟ ටෙස්ට් තරගයේ දී අවස්ථාවක් හිමිවනු ඇත.

ශ්‍රී ලංකා වේගපන්දු බලාපොරොත්තුවකට ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරය අහිමි වේ

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයක් නිසා……

ගැබා ක්‍රීඩාංගණයේ වේගවත් තණතීරුවෙන් උපරිම ඵල නෙලා ගනිමින් ශ්‍රී ලංකා පිළේ කඩුලු 10කට වග කියූ පැට් කමින්ස් අද තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා පිළේ ඕස්ට්‍රේලියානු සංචාරය අවසන් කරමින් දෙවන සහ අවසන් ටෙස්ට් තරගය පෙබරවාරි පළමු වැනිදා කැන්බරා හිදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා පිළට මෙම දරුණු පරාජයේ කැළල මකා ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව එය වන අතර එහි දී ද මෙවන් දියාරු තරග රටාවක් පෙන්නුම් කළහොත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් තව තවත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වී යනු වැළැක්වීමට නොහැකි වනු ඇත!

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 144 (පන්දුවාර 56.4): නිරෝෂන් දික්වැල්ල 64, දිමුත් කරුණාරත්න 24, කුසල් මෙන්ඩිස් 14, ලහිරු තිරිමාන්න 12, රොෂේන් සිල්වා 9, ජේ රිචඩ්සන් 3/26, පැට් කමින්ස් 4/39, මිචෙල් ස්ටාර්ක් 2/41.

ඕස්ට්‍රේලියානු (ප්‍රථම ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 323 (පන්දුවාර 106.2): ට්‍රැවිස් හෙඩ් 84, මාර්නස් ල’බුශේන් 81, මාර්කස් හැරිස් 44, කර්ටිස් පැටර්සන් 30, මිචෙල් ස්ටාර්ක් 26*, ජෝ බර්න්ස් 15, සුරංග ලක්මාල් 5/75, දිල්රුවන් පෙරේරා 2/84, ධනංජය සිල්වා 1/22, ලහිරු කුමාර 1/37.

ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 139 (පන්දුවාර 50.5): ලහිරු තිරිමාන්න 32, නිරෝෂන් දික්වැල්ල 24, සුරංග ලක්මාල් 24, ධනංජය සිල්වා 14, දිල්රුවන් පෙරේරා 8, පැට් කමින්ස් 6/23, ජේ රිචඩ්සන් 2/19, නේතන් ලයන් 1/17.