ජනිඳු සහ අනුද ආනන්දය ඉහළින් තබයි

80

සිංගර් ශ්‍රී ලංකා ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (15) ක්‍රියාත්මක විය. 

කොළඹ ආනන්ද විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගය ආනන්ද විදුහල් ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි. 

කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහි දී ඔවුන් සියල්ලන්ම දැවී ලකුණු 237ක් ලබා ගත්තේය. එහි දී පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හසිත රාජපක්ෂ ලකුණු 51ක් ලබා ගන්නා විට, සනුල ගුණරත්න ලකුණු 44ක් ලබා ගන්නා ලදි. ඊට අමතරව සචිඳු මල්ෂාන් ලකුණු 42ක් ධර්මාශෝක විදුහල් ලකුණු පුවරුවට එකතු කළේය. 

පන්දු යැවීමේ දී ඉසුරු අයේෂ් කඩුලු 3ක් දවා ගන්නා විට, ජනිඳු ජයවර්ධන සහ දසුන් තරුක කඩුලු 2ක් බැගින් දවා ගන්නා ලදි.

එම ඉනිමට පිළිතුරු දුන් සත්කාරක ආනන්ද විද්‍යාලය ධර්මාශෝක පළමු ඉනිම අභිබවා යමින් කඩුලු 9ක් දැවී ලකුණු 342ක් වාර්තා කරගත්තේය. ආනන්ද පළමු ඉනිම වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ අනුද ජයවීර ශතකයක් ආසන්නයට පැමිණි නමුත් ලකුණු 94 ඔහුගේ ඉනිම අවසන් කිරීමට ධර්මාශෝක ක්‍රීඩකයෝ සමත් වූහ. 

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිමේ කඩුලු 2ක් දවා ගත් ජනිඳු ජයවර්ධන පන්දුවෙන් දැක්වූ දස්කම්වලට අමතරව පිතිකරණයෙන් ද දස්කම් දැක්වූයේ නොදැවී ලකුණු 83*ක් ලබාගෙනයි. නායක කනිෂ්ක රන්තිලකගේ ලකුණු 54ක් වාර්තා කරගන්නා ලදි. 

අනතුරුව ඔවුන් සිය පළමු ඉනිම අත්හිට වූයේ ධර්මාශෝක පළමු ඉනිමට වඩා ලකුණු 105ක පෙරමුණක් ලබාගෙනයි. දකුණතින් පිට දඟපන්දු යවන මලීෂ රශ්මික කඩුලු 3ක් දවා ගන්නා ලදි. 

තරගයේ දෙවන සහ අවසන් දිනය නිමා වන විට සිය පිළිතුරු දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මාශෝක විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 216ක් රැස්කරගෙන සිටියේය. 

ආනන්ද විද්‍යාලයේ අනුදට මෙන්ම ධර්මාශෝක විද්‍යාලයේ චමිඳු ඩිල්ශාන්ට ද සිය ශතකය සපුරා ගැනීමට අද දිනයේ දී අවස්ථාව ලැබුනේ නැත. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් පළමු ඉනිමේ වැඩි වාසිය තහවුරු කරගත්තේ ආනන්ද විද්‍යාලයයි.

ධර්මාශෝක විද්‍යාලය – 237 (57): හසිත රාජපක්ෂ 51, සනුල ගුණරත්න 44, සචිඳු මල්ෂාන් 42, චානක ජනංග 26, ඉසුරු අයේෂ් 3/54, ජනිඳු ජයවර්ධන 2/23, දසුන් තරුක 2/39, දෙනෙත් නිස්සංක 2/60 සහ 216/6 (43): චමිඳු ඩිල්ශාන් 99, චමිඳු ද සිල්වා 37, හසිත රාජපක්ෂ 33*, සචිඳු මල්ෂාන් 30, හංසජ ජයසිංහ 2/09.

ආනන්ද විද්‍යාලය – 342/9d (70): අනුද ජයවීර 94, ජනිඳු ජයවර්ධන 83*, කනිෂ්ක රන්තිලකගේ 54, දෙනෙත් නිස්සංක 25, මලීෂ රශ්මික 3/67, චමිඳු දිල්ශාන් 2/59, සුපුන් මධුෂ්ක 2/77.


කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය 

තවත් සුහද කාණ්ඩයේ තරගයක් වූ මේ තරගය මලියදේව විදුහල් පිටියේ දී ක්‍රියාත්මක වූ අතර කාසියේ වාසිය දිනා ගත් සත්කාරක මලියදේව විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන පහර දෙන ලදි.

මලියදේව විද්‍යාලය – 139 (51.2): ගයාන් වීරසිංහ 39, ජයමිණ මුතුකුමාරණ 38*, කුෂාන් මධූෂ 4/32, චේතිය ගුණසේකර 2/36.

මහින්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 122/6 (39): සඳෙව් ඉඳුවර 48*, සිතිර හේලිත 31, සචිඳු විජේරත්න 4/31.

පළමු දිනයට පැවති තරගය අද දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<