කෝට්ටේ ජනාධිපති, කොළඹ නාලන්දා දිනයේ වැඩි වාසි අත්කර ගනි

434
Singer cricket October 03rd roundup

මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩය නියෝජනය කරමින් අද (3) දින පැවති තරග අතුරින් ඉහළ පෙළ‍ෙ දක්ෂතා ප්‍රකට කිරීමට කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය සමත්වූහ. ඒ අනුව ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයන් ඔවුන්ගේ නමින් ලියවී හමාරය. නමුත් වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගය ඉතාමත් උණුසුම් අන්දමින් ගලාගෙන යයි.

පසුගිය ලිපි: ක්‍රිකට් ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹිය යුත්තේ ඇයි?

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර තරගය

අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ ප්‍රථම දිනය ගෙවී ගියේ දිනයේ ගෞරවය කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට හිමිකර දෙමිනි. අද උදෑසන කාසියේ වාසිය තමන් සතු කරගත් ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩකයෝ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ලබා දුන්හ. ඒ අනුව පිටියට පිවිසි අනුරාධපුර විද්‍යාලයේ පිතිකරුවන් තමන්ට හුරුපුරුදු තණතිල්ල තුලදීම අසරණ කර දමන්නට ජනාධිපති විද්‍යාලයේ පන්දු යවන්නෝ සමත් වූහ. ඉන්ද්‍රජාලික පන්දු යැවීමක නිරත වුනු රිෆාස් මවුරූස් ලකුණු 34ක් පමණක් ලබා දෙමින් ප්‍රතිවාදී පිතිකරුවන් සත් දෙනෙකු ක්‍රීඩාගාරයේ විවේක ගන්වන්නට සමත් විය. අවසානයේ අනුරාධපුර විද්‍යාලයේ පිතිකරුවන්ට පන්දුවාර 31කදී ලකුණු 125ක් පමණක් රැස් කිරීමෙන් සෑහීමකට පත් වන්නට සිදු විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කෝට්ටේ ජනාධිපති විද්‍යාල පිතිකරුවන් සියල්ලන් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 225කි. ගනිඳු දෙව්මිණ අගනා අර්ධ ශතකයක් සිය පාසල වෙනුවෙන් වාර්තා කරද්දී හෂාන් (47) සහ කසුන් (33) ඔහුට සහාය දක්වන ලදී. පන්දු යැවීමේදී රවින්ත සහ මධුරංග අතරේ කඩුලු 4 බැගින් බෙදී ගියේය.

අද දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසුණු අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පිතිකරුවන් කිසිවෙකු නොදැවී ලකුණු 4ක් රැස් කරගෙන සිටියි.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 125 (පන්දුවාර 31)

ලහිරු ලියනගේ 28, රිෆාස් මවුරූස් 7/34.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 225 (පන්දුවාර 47)

හෂාන් ප්‍රියදර්ශන 47, ගනිඳු දෙව්මිණ 50, කසුන් මාලිංග 33, රවින්ත ප්‍රභාෂ්වර 4/38, මධුරංග චන්ද්‍රරත්න 4/42.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 4/0 (පන්දුවාර 2).


කොළඹ නාලන්ද විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර තරගය

කවීෂ් මදුරප්පෙරුමගේ සුපිරි පන්දු යැවීමත්, දසුන් සෙනවිරත්නගේ සුපරික්ෂාකාරී පිතිකරණයත් හේතුවෙන් ගෙවුනු දිනයේ වැඩි වාසි හිමිකර ගන්නට නාලන්දා ක්‍රීඩකයෝ අද සමත් වූහ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉසිපතන ක්‍රීඩකයින්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 135ක් පමණි. ඒ වෙනුවෙන් කළණ පෙරේරා පන්දු 48කදී ලකුණු 47ක් රැස් කරන්නට සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වුනු නාලන්දා විද්‍යාලයේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක කවීෂ් මදුවන්ත ලකුණු 10කට කඩුලු 5ක් බිඳ හෙලමින් තම විද්‍යාලය ඉහලින් ඔසවා තබන්නට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන නාලන්ද පිතිකරුවෝ අද දිනය නිමාවන විට කඩුලු 9ක් දැවී ලකුණු 146ක් රැස් කරගෙන සිටිති. ඉසිපතන ඉනිම පසු කර යමින් තම විද්‍යාලය සුරක්ෂිත කිරීමට සාර්ථක උත්සාහයක නියැලුණු නාලන්දා විද්‍යාලයේ නායක දසුන් සෙනවිරත්න ලකුණු 35ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ඉසිපතනය වෙනුවෙන් ලහිරු ඩිල්ශාන් කඩුලු 3ක් බිඳ හෙලන ලදී.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 135 (පන්දුවාර 36.1)

කළණ පෙරේරා 47, මනීෂ රූපසිංහ 44, සංජුල බණ්ඩාර 23, කවීෂ් මදුරප්පෙරුම 5/10, උමෙෂ්ක ඩිල්ශාන් 2/16, කළණ පෙරේරා 2/41.

නාලන්දා විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 146 (පන්දුවාර 46)

දසුන් සෙනවිරත්න 35, ලහිරු ඩිල්ශාන් 3/25, සංජුල බණ්ඩාර 2/8, හේෂාන් ප්‍රනාන්දු 2/28.


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගය

ප්‍රථම ඉනිමේ ජයග්‍රාහකයෙකු ගැන පවා තවමත් අනාවැකි කියන්නට නොහැකි ආකාරයට ගලාගෙන යන මෙම තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අද පූර්ව භාගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූ මාරිස්ටෙලා විද්‍යාලයේ ආරාධනය වූයේ ජෝසප් වාස් ක්‍රීඩකයින්ට ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදෙන ලෙසයි. ඒ අනුව ඔවුන් සිය ප්‍රථම ඉනිම සඳහා රැස් කල ලකුණු සංඛ්‍යාව 172කි. ධනංජය පෙරේරා ලකුණු 48කින් සහ අංජන රුක්මාල් ලකුණු 43කින් ජෝසප් වාස් ඉනිම ශක්තිමත් කරද්දී ලසිත් කෘස්පුල්ලේ කඩුලු 3ක් දවා ගනිමින් ජෝසප් වාස් ඉනිම බිඳ හෙලීමට උත්සාහ ගත්තේය.

ප්‍රථම දිනය සඳහා තරගයේ නිමාව සනිටුහන් වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන මාරිස්ටෙලා පිතිකරුවෝ කඩුලු 6ක් දැවී ලකුණු 141ක් රැස් කරගෙන සිටිති. දිනය පුරා තුන් ඉරියව් දක්ෂතා ප්‍රකට කළ ලසිත් කෘස්පුල්ලේ ලකුණු 67ක් වාර්තා කරද්දී පන්දුවෙන් ලකුණු 36කට කඩුලු 2ක් බිඳ දමන්නට කණිෂ්ක නානායක්කාර සමත් විය. ඒ අනුව සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන මාරිස්ටෙලා ක්‍රීඩකයින් මේ වනවිට ජෝසප් වාස් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 31ක් පසුපසින් සිටින්නේ කඩුලු 4ක් අතැතිවයි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 172 (පන්දුවාර 59.3)

ධනංජය පෙරේරා 48, අංජන රුක්මාල් 43, මධුෂාන් රණතුංග 26, ලසිත් කෲස්පුල්ලේ 3/28, සචිඳු කොළඹගේ 2/14, සංඛ පූර්ණ 2/16.

මාරිස්ටෙලා විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 141 (පන්දුවාර 35)

ලසිත් කෲස්පුල්ලේ 67, අශාන් ප්‍රනාන්දු 25, ධනංජය පෙරේරා 2/27, කණිෂ්ක නානායක්කාර 2/36.

මෙම තරග සියල්ලම හෙට (4) දෙවන දිනයටත් ක්‍රියාත්මකයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට