ශූරයා ශෙනුක් සමරරත්න; ශූරීය නෙත්මි රත්නායක

NPBA All-Island Open Badminton Championship 2025

43
Shenuk and Nethmi crowned NPBA Open Badminton champions

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ උතුරු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට ශෙනුක් සමරරත්න සමත් වූ අතර නෙත්මි රත්නායක විවෘත කාන්තා ඒකල ශූරතාව දිනා ගත්තා.

ඕමන්තෙයි වවුනියා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී ශෙනුක් සමරරත්න ලකුණු 21-19ක් සහ 21-15ක් ලෙස තිළිණ රාජකරුණා පරාජය කළ අතර  විවෘත කාන්තා ඒකල අවසන් තරගයේදී නෙත්මි රත්නායක හමුවේ ලකුණු 21-14ක් සහ 22-20ක් ලෙස සිතුලි රණසිංහ පරාජයට පත් වුනා.

තරගාවලියේ පිරිමි යුගල ශූරතාව දිනා ගත්තේ ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු ලකුණු 12-21ක්, 21-16ක් සහ 21-12ක් ලෙස පරාජය කළ බුවනෙක ගුණතිලක සහ ජේසන් හෝමර් විසිනුයි.

විවෘත කාන්තා යුගල ශූරතා අවසන් තරගයේ දී ලකුණු 21-19ක් සහ 21-14ක් ලෙස නිලාසි බාලසූරිය සහ ජනනුවනි ද අල්විස් පරාජය කළ ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා එම කාණ්ඩයමේ ශූරතාව දිනා ගත්තා.

ලකුණු 21-16ක් සහ 21-16ක් ලෙස මධූක දුලාංජන සහ අනුරංගි මාස්කෝරාල පරාජය කරමින් විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගැනීමට තුලිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරී සමත් වුනා.

අවුරුදු 19න් පහළ බාලක ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 17-21, 21-12ක් සහ 21-11ක් ලෙස පමිත් අත්තනායක පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට මනෙත් විජේගුණවර්ධන සමත්වූ අතර  ලකුණු 21-12ක් සහ 21-4ක් ලෙස අචිනි ගමගේ පරාජය කළ දිල්නි අම්බලන්ගොඩගේ එම තරග අංශයේ බාලිකා ඒකල ශූරතාව දිනා ගත්තා.

බාලක යුගල තරග අංශයේ ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-18ක් සහ 21-14ක් ලෙස දිනිඳු සමරසිංහ සහ දිනිඳු සිතුසර පරාජයට පත් කළ සනිදු ආරියසිංහ සහ තිසත් රූපතුංග විසිනුයි.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් 7,50,000ක මුදල් ත්‍යාග බෙදා දුන් මෙම තරගාවලියේ සියලු තරග අංශවල ශූරයන්ට, අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කිරීම විශේෂත්වයක්.

තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ තීරණයට අනුව කනිෂ්ඨ තරග අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබූ අතර උතුරු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් Mobil, Li Ning, McFoil, 3M සහ GAC අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වුණා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<