ඉඳුවරගේ ශතකයෙන් හැඩ වූ තැන තැන Big Match

National Super League 4 day Tournament 2025

24
Big Match Roundup

වාර්ෂික මහා ක්‍රිකට් තරග වසන්තයේ තවත් තරග 2ක් පසුගියදා (26) ගාල්ලේ දී සහ රත්නපුරේ දී අවසන් වුනා. එම තරග ද්විත්වය ම විසඳුමකින් තොරවයි නිමා වෙන්නේ.  

5th Battle of the Greens Blues 

ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය සහ බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය අතර 5 වැනි වරටත් පැවැතහරිත – නීල සටනවාර්ෂික මහා ක්‍රිකට් තරගය පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වෙන්නේ විසඳුමක් නැතිවයි 

දෙදින තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූ මෙම තරගය එලෙසින් නිමා වූ 2 වැනි අවස්ථාව මෙයයි.  

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 133ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 234ක් ලබා ගන්නවා. ඒ අනුව ලකුණු 101ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ගාමිණී විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 82ක් ලබා සිටියා. 

ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

සචින් සත්සිඳු (නායක), මනුෂ පෙරේරා, සෙමොත් දේවින්ද, ඉඳුවර ප්‍රසංග (කඩුලු රකින්නා), ගමිරු හසරැල්, සුජිත් ප්‍රියංකර, නිසල් දිනූප, ලක්වින් වේනිත, අපූර්ව නිම්නෙත්, දීමන්ත ගුනියන්ගොඩ සහ දනුශ්ක කුමාර. 

බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

විමුක්ති විදර්ශන (නායක), යසංක කන්නංගර, කවිඳු තිසර, දිනෙත් නානායක්කාර, ආයුෂ් නෙත්ම, ගිහාන් අනුරෝධ (කඩුලු රකින්නා), මනිල්ක ශිහාන්, පළිඟු නිලම්බර, රසිඳු පෙරේරා, සංෂන ඉමේෂ් සහ හිරුෂ රන්ජය.   

කාසියේ වාසිය දිනා ගත් බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට තමන් සිතූ ගමනක් යෑමට හැකි වෙන්නේ නැහැ. තරගයේ පළමු දිනයේ දහවල් විවේකය වෙද්දී ඔවුන්ගේ ඉනිම දැක් වුනේ කඩුලු 7ක් දැවී ලකුණු 66ක් ලෙසයි.  

අනතුරු ව ඔවුන්ගේ ඉනිම තේ විවේකයටත් පෙර අවසන් වෙනවා. එලෙසින් දැවී ගිය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සංෂන ඉමේෂ්. ඔහු පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 65ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව නායක විමුක්ති විදර්ශන පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ද සහ යසංක කන්නංගර පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ද ලබා ගන්නවා.  

අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයීය පන්දු යවන්නෝ ඉඩ දෙන්නේ නැහැ. එහි දී සෙමොත් දේවින්ද කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව ලක්වින් වෙනිත කඩුලු 3ක් ද, අපූර්ව නිම්නෙත් සහ දීමන්ත ගුනියන්ගොඩ කඩුල්ල බැගින් ද දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරද්දී කඩුලු 2ක් දැවී ලකුණු 76ක් ලබා සිටියා. ඊට පසු දිනයේත් තේ විවේකයට පැය භාගයකට පමණ පෙර දක්වා පිතිකරණයේ යෙදුණ ඔවුන් තම ඉනිම අත්හිට වූවා.  

ඒ වෙද්දී එම ඉනිම වෙනුවෙන් ඉඳුවර ප්‍රසංග පන්දු 230කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 103ක් ලබා සිටියා. ඊට අමතර ව සෙමොත් දේවින්ද පන්දු 211කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා. 

ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 135ක සබඳතාවක් ද ගොඩ නගනවා. එම ලකුණු සබඳතාවයට අමතර ව ඉනිමේ 4 වැනි කඩුල්ල සඳහා ඉඳුවර ප්‍රසංග සහ ගමිරු හසරැල් එක් ව ලකුණු 73ක් ද එක් කරනවා.  

ගමිරු හසරැල් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී දිනෙත් නානායක්කාර ලකුණු 36කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව පලිඟු නිලම්බර, කවිඳු තිසර සහ රිසඳු පෙරේරා කඩුල්ල බැගින් දවා ගන්නවා.  

අනතුරු ව තම දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි බෙන්තොට ගාමිණී විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 3ක් ඉතිරි කර ගනිමින් තරගය විසඳුමකින් තොරව අවසන් කරනවා. එම ඉනිමේ දී ආයුෂ් නෙත්ම පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා ගනිමින් තම කණ්ඩායම බේරා ගැනීමේ ප්‍රධානියා බවට පත් වුනා.  

ඔහුට අමතර ව දිනෙත් නානායක්කාර ද පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී සෙමොත් දේවින්ද ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත්තා. ඔහු තරගයේ දී ලකුණු 75කට කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඔහුට අමතර ව ලක්වින් වෙනිත ද කඩුලු 2ක් දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 133 (46.2) විමුක්ති විදර්ශන 21, සංශන ඉමේෂ් 65, ලක්වින් වෙනිත 3/43, සෙමොත් දේවින්ද 4/44
  • ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 234 (92.1) සෙමොත් දේවින්ද 52, ඉඳුවර ප්‍රසංග 103, ගමිරු හසරැල් 38, දිනෙත් නානායක්කාර 3/36
  • ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 82 (51.0) දිනෙත් නානායක්කාර 23, ආයුෂ් නෙත්ම නොදැවී 28, සෙමොත් දේවින්ද 4/31, ලක්වින් වෙනිත 2/17

තරගයේ විසඳුමක් නෑ. 

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – ලක්වින් වෙනිත (ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – සෙමොත් දේවින්ද (ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – සංශන ඉමේෂ් (ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ විරයා – ඉඳුවර ප්‍රසංග (ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය)

14th Battle the Golds 

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය සහ පැල්මඩුල්ල ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය අතර 14 වැනි වරටත් පැවැති රන්මිණි සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය පසුගියදා විසඳුමකින් තොරව අවසන් වුනා. මෙලෙසින් අවසන් වූ 10 වැනි තරගය මෙයයි.  

සීවලී මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

චාමිකර ගුණතිස්ස (නායක සහ කඩුලු රකින්නා),සනුජ දෙල්ගහගොඩ, සචින්ත වික්‍රමාරච්චි, ආයුක මූණමල්පෙ, තිනෙත් ජයවර්ධන, චතූප කවීන්, නිදුක ප්‍රේමරත්න, උත්සර රණතුංග, තිශාන් ගල්ගනගේ, ලසිරු ලක්ශාන් සහ හරිත ජයසූරිය 

ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

නිමේෂ් සත්සර (නායක), කවිඳු ගිම්හාන්, සංක ලක්ශාන් (කඩුලු රකින්නා), කවිඳු නෙත්රුවන්, විශ්ව නවෝදන, හෂාන් මදුරංග, අදීශ් අමන්ත, නිර්මාල් රශ්මික, ජනිත් අකලංක, කෝකිල හර්ෂ සහ දසුන් නිම්සර 

රත්නපුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීම තොරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 122ක් ලබා ගන්නවා.  

පළමු දිනයේ තේ පානයට පෙර දැවී ගිය එම ඉනිම වෙනුවෙන්  වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වූයේ කවිඳු නෙත්රුවන්. ඔහු පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගන්නවා. ඊට අමතර ව ආරම්භක පිතිකරු සංක ලක්ශාන් පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගන්නා ලද අතර අදීශ අමන්ත ද පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී උත්සර රණතුංග ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව සනුජ දෙල්ගහගොඩ සහ සචින්ත වික්‍රමාරච්චි කඩුලු ද්විත්වය බැගින් ද හරිත ජයසූරිය සහ ආයුක මූණමල්පේ කඩුල්ල බැගින් ද දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සීවලී මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී වට වැස්ස හේතුවෙන් තරගයේ පළමු දිනය නිමා වෙනවා. ඒ වෙද්දී ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 28ක් ලබා සිටියා.  

ඊට පසු තරගයේ 2 වැනි දිනයේ ඔවුන්ගේ ඉනිම දිවා විවේකයට පෙර අවසන් වුනා. ඒ වෙද්දී ඔවුන්ගේ ඉනිම දැක් වුණේ සියලුම දෙනා දැවී ලකුණු 67ක් ලෙසයි.  

එලෙස අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වූ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු චතූප කවීන්. ඔහු පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයීය පන්දු යවන්නෝ ඉඩ ලබා දෙන්නේ නැහැ. එහි දී ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරන්නේ කවිඳු නෙත්රුවන්. ඔහු ලකුණු 15කට කඩුලු 4ක් දවා ගන්නවා. ඊට අමතර ව නිමේෂ් සත්සර කඩුලු 3ක් ද, කෝකිල හර්ෂ, නිර්මාල් රශ්මික සහ හෂාන් මදුරංග කඩුල්ල බැගින් දවා ගන්නවා.  

ලකුණු 55ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ එවර කඩුලු 8ක් දැවී ලකුණු 94ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවනවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ කවිඳු නෙත්රුවන්. ඔහු පන්දු 139කට මුහුණ දෙමින් කිසිදු සීමා පහරක් නොමැතිව නොදැවී ලකුණු 29ක් ලබා ගන්නවා. 

ඊට අමතර ව දසුන් නිම්සර පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී චතූප කවින් සහ ආයුක් මූණමල්පෙ කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා අතර ඊට අමතර ව ලසිරු ලක්ශාන්, සචින්ත වික්‍රමාරච්චි, උත්සර රණතුංග සහ සනුජ දෙල්ගහගොඩ කඩුල්ල බැගින් දවා ගන්නවා.  

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 150ක හඹා යන ඉනිමක් සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ලැබුණ ද වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන අතර ඒ වෙද්දී එක් පන්දුවකට හෝ මුහුණ දීමට ඔවුන්ට සිදු වෙන්නේ නැහැ.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 122 (58.2) සංඛ ලක්ෂාන් 30, කවිඳු නෙත්රුවන් 35, අදීශ අමන්ත 26, සචින්ත වික්‍රමාරච්චි 2/40, සනුජ දෙල්ගහගොඩ 2/17, උත්සර රණතුංග 3/13
  • සීවලී මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 67 (44.2) චතූප කවින් 33, නිමේෂ් සත්සර 3/22, කවිඳු නෙත්රුවන් 4/15
  • ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 94 (54.0) කවිඳු නෙත්රුවන් නොදැවී 29, දසුන් නිම්සර 27, ආයුක් මූණමල්පෙ 2/12, චතුප කවීන් 2/02

තරගයේ විසඳුමක් නෑ.  

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – හරිත ජයසූරිය (සීවලී මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – නිමේෂ් සත්සර (ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – චතූප කවීන් (සීවලී මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ විරයා – කවිඳු නෙත්රුවන් (ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය)

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<