රුමේෂ් අවසන් තරගයට සුදුසුකම් ලබයි

World Athletics Championship 2025

26
World Athletics Championship 2025

2025 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීම අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ රුමේෂ් තරංග අද (17) සමත් වුනා.

පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මූලික වටය අද ක්‍රියාත්මක වූ අතර, එහි දී සුමේධ රණසිංහ පළමුව තරගයට සහභාගී වුනා.

මෙහි දී සුමේධ විසින් තමන්ට ලැබුණු අවස්ථා ත්‍රිත්වයේ දී පිළිවලින් මීටර් 80.36, 81.54, 81.86 ලෙස සිය දක්ෂතාව වර්ධනය කර ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙය ඔහුගේ මෙම වසරේ හොඳම දක්ෂතා අතරේ පෙරමුණට පැමිණියේ නැහැ. එමෙන්ම ඔහුට මෙම දක්ෂතාව ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් වුනේ ද නැහැ.

ඉසව්වට සහභාගී වූ ක්‍රීඩකයින් 37ක් අතුරින් සුමේධට 15 වැනි ස්ථානයෙන් නතර වීමට සිදු වුනා.

කෙසේ වෙතත් සුමේධට මග හැරුණු අවසන් තරග සිහිනය සැබෑවක් කර ගැනීමට රුමේෂ් තරංග සමත් වුනා. සුමේධගෙන් පසුව තරගයට සහභාගී වූ රුමේෂ් විසින් සිය අවස්ථා ත්‍රිත්වය තුළ මීටර් 82.44, 82.27, 82.80ක් ලෙස දක්ෂතා දැක්වීමට සමත් වුනා. .

රුමේෂ් ද සිය පෞද්ගලික හොඳම දක්ෂතා අතරට පිවිසීමට සමත් නොවුනත්, අද දිනයේ සමස්ත තරගකරුවන් අතරින් 12 වැනි ස්ථානයට පත් වීමට සමත් වුනා.

මේ අනුව හෙට (18) පැවැත්වීමට නියමිත පිරිමි හෙල්ල විසි කිරීම අවසන් තරගයට සුදුසුකම් ලද අවසන් ක්‍රීඩකයා වීමට රුමේෂ්ට හැකියාව ලැබුණා.

හෙට සවස 3.53ට මෙම ඉසව්වේ අවසන් තරගය ආරම්භ වීමට නියමිතයි.

දෙස්, විදෙස් මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<